අතේ ගෙන යා හැකි පරිගණක, hand-held computers ලෙස හදුන්වයි. Smart phone ඉන් ප්‍රකටය. පීඩීඒ (PDA) සහ ටැබ්ලට් (Tablet) පරිගණක අනෙක් ඒවාය. මේ කොයිකටත් වෙනම පරිගණක මෙහෙයුම් පද්ධති තිබේ. ජංගම උපාංග මෙහෙයුම් පද්ධති හෙවත් Mobile OS කියන්නේ මේවාටය. දැන් වැඩිපුරම Mobile OS භාවිතා වෙන්නේ smart phone වලදීය.

අද ලෝකයේ විකිනෙන ජංගම දුරකථන අතරින් 90% ක්ම වාගේ smart phones. මේ මොන smart phone එකත් කොතරම් ‘ smart’ ද යන්න හෙවත් එය කෙතරම් නවීන ජීවිතයට ගැළපේ ද යන්න තීරණය කෙරෙන්නේ එහි තිබෙන mobile OS එක විසින් ය. වෙළෙඳ නාම සිය ගණනක් යටතේ ආවත්, දුරකතන සේවා සපයන සමාගම් දහස් ගණනක් යටතේ සේවය ලබා ගත්තත්, මේ smart phoneවල එකිනෙකට වෙනස් ක්‍රියාකාරිත්ව තිබෙන්නේ අතලොස්සකි. ඊට හේතුව mobile OS තිබෙන්නේ කිහිපයක් නිසා ය.

දැනට තිබෙන mobile OS වන්නේ Google Android, Apple iOS, සහ KaiOS ඉන් වඩාත් ප්‍රකට ඒවාය. රිම් බ්ලැක්බෙරි ,නොකියා සිම්බියන් ,මයික්‍රෝසොෆ්ට් වින්ඩොස් ෆෝන්, එච්පී වෙබ් ඕඑස්, සැම්සුන් බාඩා, නොකියා මීමෝ, ලිනක්ස් මීගෝ දැනට මිය යමින් පවතින සහ මිය ගිය mobile OSය.

එක් mobile OS එකක් තවත් එකකින් වෙනස්වන කරුණු කීපයකි. Interface එක හෙවත් පෙනුම (Visual panache) ප්‍රධාන කොට වැඩි දෙනා සලකයි. දෙවැන්න එය කෙතරම් පහසුද (ease for use) යන්නයි. එමගින් කරගත හැකි විවිධ කටයුතු (capabilities) තවත් කාරණයකි. එක් mobile OS එකක් තවත් එකකින් වෙනස්ව හදුනාගත හැකි තවත් කරුණක් වෙන්නේ එයින් නොයෙක් වැඩ කරගන්නට උපකාර කරන අවශේෂ මෘදුකාංග ( apps and third-party programs) කෙතරම් හොද ද යන්නයි.

මේ අතරින් ප්‍රධාන වන්නේ Android සහ Apple iPhone OS හෙවත් iOSය.

ඇන්ඩ්‍රෝයිඩ් (Android )

මෙය open-source වර්ගයේ වැඩසටහනකි. 2008 ඔක්තෝබර් 21 වැනිදා මූලිකව නිකුත් කළ ඇන්ඩ්‍රෝයිඩ් මෙහෙයුම් පද්ධතිය හැම අතින්ම වාගේ පහසු, වේගවත් මෙහෙයුම් පද්ධතිය සේ සැලකේ. මෙහි අලුත්ම සංස්කරණය  Android 10.0 පසුගිය September 3, 2019, වැනිදා එළි දැක්විණ. ඇන්ඩ්‍රෝයිඩ් සදහා ගැලපෙන නොයෙක් apps, Appstore එකෙන් download කර ගත හැක. Androidහි විශේෂත්වය වෙන්නේ, එය දියුණු කරනු ලැබුවේ ඕපන් හෑන්ඩ්සෙට් එලායන්ස් (Open Handset Alliance) කියා හදුන්වන විවිධ තාක්ෂණික සහ සන්නිවේදන සමාගම් 80කින් සැදි මණ්ඩලයක් විසිනය. මේ වන විට Google සමාගම විසින් එය දියුණු කරනු ලබයි. එනිසා මෙය අන් කවර mobile OS එකටත් වඩා නවීන වෙමින් තිබේ. එසේම භාවිතයට පහසු වෙමින් තිබේ.

Apple iPhone OS හෙවත් අයිඕඑස් (iOS)

Smart Phone අතර ප්‍රසිද්ධම iPhone ය. එනිසාම iOS මෙහෙයුම් පද්ධතිය mobile OS අතර පුරෝගාමියා ය. 2007 ජූනි 29 වැනිදා iOS එළි දුටුවේ, ඇපල් මැක් ඕඑස් එක්ස් (Mac OSX) හි mobile සංස්කරණය හැටියටය. 2019 ජූනි මාසයේදී එහි නම අයිඕඑස් (iOS) කියා වෙනස් කෙරුණි. මෙහි අලුත්ම සංස්කරණය iOS 13  2019 September 24 වැනිදා ප්‍රසිද්ධ කළේ ය.

මෙය සම්පූර්ණයෙන්ම multi-touch පහසුකමට වැඩ කළ හැකි OS එකකි. Interface එක ගත්විට මනරම් icon සමූහයකින් යුක්තය. ඇගිලි තුඩුවලට touch screen එක හැසිරවීම ඉතා පහසුය. වැඩ කටයුතු වඩාත් පහසු වී තිබෙන්නේ නොයෙක් apps සමග වැඩ කරන්නට පුලුවන් නිසා ය. දැන් iPhone සදහා apps ලක්ෂ ගනින් තිබේ.

මෙලෙස තිබෙන විවිධ mobile OS ගත්විට වැඩිපුරම (74.3%) භාවිතා වෙන්නේ android ය. ඊළඟ තිබෙන්නේ iOS (24.76%) ය. තුන්වැනි තැන KaiOS ය (0.21%) ත්, Samsung හතරවන තැනත් (0.2%) සිටී. අනෙක් සියලු මොබයිල් ඕඑස් එක්ව ගති විට එහි භාවිතාව 0.19%ක් පමණය.