GGSLK එක්ක එකතු වෙලා ඉන්න ඔයාල හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා. අද ලිපියෙන් මම කියන්න හදන්නේ නම් ඒ තරම් හොඳ ආරංචියක් නෙවෙයි. ඇත්තම කිව්වොත් මේක දුක හිතෙන ආරංචියක්. ඒ තමයි අපි හැමෝම ආදරය කරපු, Luis Fonsi සහ  Daddy Yankee ගේ Despacito ගීතයේ ඔරිජිනල් වීඩියෝව youtube එකෙන් අතුරුදහන් වෙලා කියන එක. මේ සිදුවීම වෙලා තිබුනේ ගිය සතියේ දවසක. මේ ගැන ඔයාල දැනටමත් දන්නවා ඇති. මේ ආරංචිය ඔයාලට දන්වන්න මේ තරම් පරක්කු වුන එක ගැනත් මුලින්ම සමාව ඉල්ලන්න ඕන.

අන්තර්ජාල පහසුකම් තියෙන අපි හැමෝම වගේ විවේකයක් ලැබුන ගොඩක් අවස්තාවලදී කරන්නේ youtube එකේ සැරිසරන එකනේ. ඉතින් එහෙම youtube ගිහිල්ලා අපි කැමතිම Videos බලන එක තමයි අද වෙනකොට ගොඩක් අයගේ විනෝදාංශය වෙලා තියෙන්නේ. ඒ විදිහට හැමෝම ආසාවෙන් නරඹපු Despacito ඇතුළු ප්‍රසිද්ධ වීඩියෝ බොහෝ ප්‍රමාණයක් youtube එකට Upload කරපු account එකක් වෙන Vevo, hacker ප්‍රහාරයකට ලක් වීම තමයි මේ සිදුවීමට හේතුව වෙලා තියෙන්නේ.

මේ account එක විසින් Upload කරලා තිබුණු Despacito ගීතය ඇතුළුව, Chris Brown, Shakira, DJ Snake, Selena Gomez, Drake, Katy Perry සහ Taylor Swift කියන ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ ගීත ගණනාවකම Original වීඩියෝ පට මේ විදිහට Youtube එකෙන් අතුරුදහන් වෙලා තිබුණා. එම වීඩියෝ පටවල image එක වෙනුවට තුවක්කු අතින් ගත් වෙස් මුහුණු පැළඳ සිටින කණ්ඩායමක් පිළිබිඹු වන වෙනත් image එකකුත් දකින්න ලැබුනා. පහලින් ඔයාලට පේන්න තියෙන්නේ ඒ image එක.

ඊට අමතරව මේ වීඩියෝ පටවල description එකත් වෙනස් කරලා තිබුණා. මේ වෙනස් කිරීම සිදුකල කණ්ඩායම එහිදී තමන්ව හඳුන්වලා දීල තිබුනේ Prosox and Kuroi’sh යන නමින්. මේ පිරිස විසින් පවත්වාගෙන යන බව සිතිය හැකි Twitter ගිනුමකත් මේ පිළිබඳව හෝඩුවාවක් පල කරලා තිබුණා. එහිදී ඔවුන් විසින්ම ඔවුන්ව Hackers ල විදිහට හඳුන්වාදීල තියෙනවා.

ලොව පුරා සිටින මිලියන ගණනාවක් වූ ප්‍රේක්ෂකයන්, ලොව වැඩිම පිරිසක් නරඹා වැඩිම ජනාදරයට පත් වුනු Despacito වීඩියෝවට සිදු වුනු දේ ගැන තමන් කනගාටු වෙන බවත්, මේ සිදුවීම ව්‍යසනයක් ලෙස දකින බවත් කියාසිටියා. මේ සිදුවීම් වලින් ඇති වුනු හානියට පිලියමක් වශයෙන් මෙම හානි වුනු වීඩියෝපට වල original වීඩියෝපට නැවතත් ඒවා අයිති ගායක ගායිකාවන්ගේ පෞද්ගලික Vevo accounts වලට Upload කරන්න අදාළ ආයතනය මඟින් කටයුතු යොදලා තිබුණා.

Vevo ආයතනයත් මේ සිදුවීම ගැන අදහස් දක්වන්නට අමතක කරලා තිබුනේ නෑ. ඔවුන් මෙම account එක සඳහා සපයා තිබුණු ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බවට නොයෙක් අංශ වලින් එල්ල වන චෝදනා සත්‍ය බව පිළිගෙන තිබුණා. ඊට අමතරව Vevo හි මෙම සිදුවීමට ලක් වුනු වීඩියෝපට නැවත යතා තත්වයට පත් කරන්නත් ඔවුන් කටයුතු යොදමින් ඉන්නවාලු. ඊට සමගාමීව තමන්ගේ දත්ත වල ආරක්ෂාව තර කිරීමටත් මෙම දත්ත සොරාගැනීම සහ තම youtube account එකට රහසිගතව ඇතුල්වී තොරතුරු වෙනස් කිරීම සම්බන්ධව විධිමත් ලෙස සොයා බලා වැරදිකරුවන්ට එරෙහිව නීති මඟින් කටයුතු කරන බවත් ඔවුන් කියා සිටියා. ඔවුන් කියා සිටින විදිහට මේ නීතිවිරෝධී ක්‍රියාව පිටිපස්සේ ඉන්නේ කවුද කියන එක වැඩිකාලයක් නොගිහින් අපිට දැනගන්න පුළුවන් වේවි.

ඒ කොහොම වුනත් ලෝකප්‍රසිද්ධ youtube channel එකක් මේ විදිහේ අනාරක්ෂිත තත්වයකට පත් වීම නම් ඒ තරම් හොඳ ලකුණක් නෙවෙයි. මේ සිදුවීම තවත් මෙවැනි සිදුවීම් මාලාවක මුලාරම්භයක් වෙන්නත් පුළුවන් කියලයි අපිටනම් හිතෙන්නේ.