පසුගිය වසර ගණනාවක් පුරාවටම android versions නම් කෙරුණේ අතුරුපස වර්ග මුලික කරගෙනයි. Cupcake වලින් ආරම්භ කෙරුණු මේ නමකරණය Donut, Eclair, Froyo, Gingerbread, Honeycomb, Ice Cream, Jellybean, KitKat, Lollipop, Marshmallow, Nougat, Oreo ආදී වශයෙන් පෙළ ගැහිලා, දැනට භාවිතයේ පවතින අවසන් android version එකට android Pie කියන නම ලැබුණා. මේ නාමකරණය ලෝකයේ කාගේත් අවධානය දිනා ගත්තු, ලොව පුරා බොහෝ දෙනෙක් ආදරය කළ නාමකරණයක් විදියට තමයි වාර්තා වල සඳහන් වෙන්නේ. කොහොම වෙතත් මේ නාමකරණයේ වෙනසක් කරන්න Google සමාගම තීරණය කරලා තියෙනවා. ඉතින් ඒ පිලිබඳව තොරතුරු හොයද්දි දැනගන්න ලැබුණු කරුණු කීපයක් ඔබත් සමගින් බෙදා හදා ගන්න තමයි මේ සූදානම…

මීළඟට Google සමාගම android versions නම් කරන්න බලාපොරොත්තු වෙන්නේ ද්විමය සංඛ්‍යා භාවිතා කරගෙනයි. මේ කාරණය තවදුරටත් පැහැදිලි කරනවා නම්, android pie වලින් පසුව පාරිභෝගිකයින් අතට පත් වෙන android version එක මේ වෙනතෙක් කොයි කවුරුත් හැඳින්වූවේ android Q කියන නමින්. බොහෝ දෙනෙක් බලාපොරොත්තු වුණේ android Q සඳහාත් අතුරුපසක නමක් ලැබේවි කියලා. නමුත් android Q සඳහා අලුත් නාමකරණය අනුව ලැබෙන්නේ android 10 කියන නම කියල තමයි දැනගන්න ලැබුණේ.

මෙහෙම නාමකරණයේ වෙනසක් කරන්න හේතුව මොකද්ද කියල කියන්නත් Google සමාගම අමතක කරලා තිබුණේ නැහැ. ඔවුන් පවසන ආකාරයට ඉංග්‍රීසි භාෂාවෙන් අතුරුපස නම් යෙදීම නිසා google සමාගමේ පාරිභෝගිකයින් පිරිසක් නොසළකා හැරීමකට ලක් වෙන බවයි ඔවුන්ගේ විශ්වාසය. Android භාවිතා වෙන සමහරක් රටවල ඉංග්‍රීසි භාෂාව භාවිතා නොවෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ රටවල් පිළිබඳවත් සළකලා බලලා ඕනෑම රටකට පොදු වෙන ආකාරයේ සංඛ්‍යා මත පදනම් වූ නාමකරණයකට අවධානය යොමු කළ බව තමයි ඔවුන් මේ පිළිබඳව තව දුරටත් අදහස් දක්වමින් කරුණු සඳහන් කරලා තිබුණේ.

නමකරණයේ වෙනසට සමගාමිව android logo එකට අදාළවත් වෙනස්කම් කීපයක් කරන්න Google සමාගම තීරණය කරලා අවසන්. මේ අනුව android logo එකේ ‘andoid’ ලෙස සඳහන් වෙන අකුරු කොළ පැහැය වෙනුවට කළු පැහැයෙන් දක්වන්නත්, රොබෝ සලකුණ ‘android’ වචනයට ඉහළින් දකවන්නත් නියමිතයි. කොළ පැහැයෙන් කළු පැහැයට මාරු වීම හරහා අක්ෂි දුර්වලතාවලින් පෙළෙන්න්නන්ටත් යම් සාධාරණයක් ඉෂ්ට කරන්නට ඔවුන් උත්සාහ කර තියෙන බව තමයි ආරංචිය.

මීළඟ android version එකත් සමගින් එන්න නියමිත මේ වෙනස්කම් වලට පාරිභෝගිකයින් කොතරම් නම් ඇලුම් කරයිද කියන කාරණය දැනගන්න නම් තවත් පුංචි කාලයක් බලා හිඳින්න සිදු වේවි.

මෙවන් තොරතුරක් සමගින් නැවතත් හමුවෙමු…