මේ ලිපියත් ලියන්නේ, අපිත් එක්ක දිගටම රැඳී ඉඳපු, google i/o tech event එක ගැන උනන්දුවක් තියෙන හැමෝම වෙනුවෙන්. ඉතින් ඔයාල දැනටමත් දන්නවනේ Google සමාගම විසින් පවත්වනු ලබන ලෝකයේ ලොකුම වගේම, වසරේ විශාලතම tech event එක තමයි Google I/O කියල කියන්නේ. මේ event එකේදී ලෝකයේ තාක්ෂණික අංශයට අදාළ නව නිපැයුම් කරනු ලැබූ සහ ඒ ඒ අංශ වල දස්කම් දැක්වූ developers ල විශාල ප්‍රමාණයක්, මේ සඳහා සහභාගී වන පිරිස සමග තමන්ගේ අදහස් බෙදා ගැනීමට කටයුතු කරනවා. ඒ වගේම Google සමාගම විසින් මේ වසර තුල ඉදිරියෙදී හදුන්වාදීමට නියමිත නව සොයාගැනීම් සහ නව තාක්ෂනයන් පිළිබඳව මෙහිදී නිවේදනය කරනවා. ඔයාලත් මීට කලින් මේ event එකට සහභාගී වෙලා තියෙනවා නම් මේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. ඉතින් මේ ලිපියෙන් මම කියන්න හදන්නේ මේ වසරේ Google සමාගම විසින් එළිදක්වන්නට කටයුතු කරලා තියෙන අලුත්ම අදහස් මොනවද කියලා. හැබැයි ඉතින් එත් එක්කම කියන්න ඕන මම මේ විදිහට ඉදිරිපත් කරන්නේ මේ ගැන අවදානයෙන් සිටින තාක්ෂණික ලෝකයේ විචාරකයන් විසින් අනුමාන කෙරුණු අදහස්. හැබැයි ඔවුන් කියන විදිහට මේවයෙන් 90% ක් විතර නිවැරදි අනුමානයන් කියල අපිට විශ්වාස කරන්න පුළුවන් බවයි පෙනෙන්නේ. මොකද මෙතන තියෙන සමහර අදහස් ගැන මේ වසරේ I/O event එකේදී කතා කරනවා කියල Google සමාගම විසින්ම ඉඟි අපිට ලබා දීල තියෙන නිසා.

Material Design 2

මේ තමයි ඔවුන් අනුමාන කරන පළමුවෙනි කාරණාව. අපි දන්නා විදිහට පහුගිය මාර්තු මාසයෙදී නවතම Android P preview එකක් ලෝකයට හඳුන්වා දුන්නා. විශාල වෙනස්කම් රැසක් සහිතවයි අපිට ඒ preview එක දකින්නට ලැබුනේ. එය අලුතින්ම නිර්මාණය කරන ලද notification panel එකක්, quick settings, main settings screen, නැවත නිර්මාණය කරන ලද volume interface එකක්, text selection animations සහ ප්‍රතිනිර්මාණය කරන ලද UI components වලින් සමන්විත වුණා. පහුගිය කාලය තුල Gmail, Chrome, Google pay, Google සමාගමට අයත් විවිධ මෙහෙයුම් පද්ධති සහ Android developer site එක තුලත් මේ විදිහට අලුත් designs අපිට දකින්නට ලැබුණා. මේ අලුත් designs වලට විශේෂිත නමක් නම් මේ වනවිටත් ලබා දීල නෑ. Google සමාගම තුල නම් ඒවා හඳුන්වන්නේ Material Design 2 සහ Material Design Refresh යන නම් වලින්ලු. ඉතින් විචාරකයන් හිතන විදිහට මේ සැරේ Google I/O conference එකේ දි මේ අලුත් designs ඒවාටම විශේෂිත වූ නාමයක් සහිතව, නිල තොරතුරු පත් සහ අදාළ design documents සමගම නිල ලෙස එළිදක්වයි. මේ ගැන එදාට කොටස් දෙකකින් කතා කරයි කියල තමයි ඔවුන් හිතන්නේ. ඒ කොටස් දෙක “How to incorporate what’s new with Material Design in your code base” සහ “How UX researchers helped test, refine, and evolve the latest Material Design guidance” යන නමින් පැවැත්වෙන බවයි ආරංචි. කොහොම වුනත් මේ මාතෘකාව යටතේ අපිට Google විසින් හඳුන්වාදෙන්නට යන තවත් අලුත් designs කිහිපයක් ගැනම දැනගන්නට ලැබේවි.

Gesture Navigation

මේ වචනයත් තාක්ෂණික ලෝකයත් එක්ක ගනුදෙනු කරන ඔයාලට නුහුරු වචනයක් නම් වෙන්න බෑ. Android සමාගම බොහෝවිට iOS ආශ්‍රයෙන් ඔවුන්ගේ යාවත්කාලීන කිරීම් සිදු කිරීමට පෙළඹී සිටින බව පෙනෙන්නට තියෙනවා. අපි මෙතෙක් නොදුටුව නවතම navigation bar එකක් Android developers ලගේ බ්ලොග් පිටුවේ දකින්නට ලැබෙනවා. ඒ ඇසුරින්, gesture navigation ගැනත් අපි නොදන්නා කරුණු සමඟ අලුතින් සිදුවූ වෙනස්වීම් පිළිබඳව මෙහිදී අදහස් ඉදිරිපත් වේවි කියලයි විචාරකයන් හිතන්නේ.

Google Assistant “Slices”

ඇත්තටම මේ නම නම් අපිට ඒ තරම් හුරුපුරුදු එකක් නෙවෙයි. එත් දැනටමත් Android P developer තොරතුරු වල කියවෙන විදිහට Slice එකක් කියන්නේ app එකකින් පරිබාහිරව පවතින අදාළ app එකටම අයත් කාර්යයන් ඉටුකරගත හැකි app එකක අනු කොටසක්. සමහරවිට මේක Android apps Google Assistant සමඟ එකතු කිරීමට යෙදූ උපාංගයක් විය හැකියි කියලයි සමහරු කියන්නේ. හැබැයි ඉතින් මේ ගැන අදාළ වැඩකටයුතු ටික තාමත් සම්පූර්ණ වෙලා නැති බවයි ආරංචි. ඒ කොහොම වුනත් Slices ගැනත් මෙවර conference එකේදී කතා කරයි කියල විචාරකයින් හිතල තියෙනවා.

Android TV dongle

පහුගිය අප්‍රේල් මාසයේදී Google සමාගම ඔවුන්ගේ වෙළඳ නාමය සහිත dongle එකක් සහ ඊට අදාළ දුරස්ථ පාලකයක් එළිදක්වනු ලැබුවා. මෙය 2017 Amazon Fire TV වලට සමාන බව දකින්න ලැබුණා. මේ දෘඩාංගය android TV වලට අදාළ එකක්. ඉතින් මේකත් ඔවුන්ගේ නවතම නිර්මාණයක් නිසා මේ ගැනත් conference එකේදී කතාකරන එක ගැන ලෝකයේ අවදානය යොමු වෙලා තියෙනවා.

Flutter

පහුගිය වසර කිහිපය තුලදී Google සමාගම විසින් cross-platform mobile SDK එකක් නිර්මාණය කිරීමේ කාර්යයක නිරත වී සිටිනවා. එය හඳුන්වා ඇත්තේ Flutter යන නමින්. ඒ සඳහා ගැලපෙන high-performance app engine එකක් සමඟයි එය නිකුත් වෙන්නේ. ඒ හේතුව නිසා එයට පහසුවෙන් android සහ iOS තුල වැඩ කිරීමට හැකියාව ලැබී තියෙනවා. ඊට අමතරව ඒ සඳහා එයටම ආවේනික වූ UI framework එකක්ද තියෙනවා. මේ අවුරුද්දේ පෙබරවාරි මාසයේදී ඔවුන් මෙහි  ප්‍රථම එළිදැක්වීම beta 1 සඳහා ප්‍රචාරණ කටයුතු ආරම්භ කරලා තිබුණා. ඒ නිසා Flutter ගැනත් මෙවර I/O හිදී වැඩි අවදානයක් යොමු වෙයි කියල හිතන්න පුළුවන්.

Android Things

මේ, android සමාගමේ තවත් විශේෂ ව්‍යාපෘතියක්. මෙවර ඒ සඳහා මුලික කරගෙන තියෙන්නේ Internet of Things කියන අපි කවුරුත් දන්නා මාතෘකාව.  මේ concept එක මඟින් අපි එදිනෙදා ජීවිතයේදී භාවිතයට ගනු ලබන සෑම උපකරණයක්ම පාහේ Wi-Fi තාක්ෂණය සමඟ එකතු කරලා ඒ මඟින් smart පරිසරයක් නිර්මාණය කිරීම තමයි ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ. මේ මාතෘකාව ලෝකයේ බොහෝ දෙනා ප්‍රිය කරන එකක් නිසා මේ වතාවේ Google සමාගමත් මේ ගැන කියන්න තමන්ගේ I/O event එකේදී කාලයක් වෙන් කරයි කියල හිතන එක වැරදි නැහැ නේද?

තවදුරටත්…,

මේ වසරේ සඳහනක් නොවුනත් පසුගිය වසරේ Google I/O හිදී ඔවුන් කියා සිටියා ඔවුන් මෝටර් රථයක් සඳහා automative system එකක් හඳුන්වා දීමට වැඩකටයුතු කරමින් පවතින බව. මේක හැඳින්වුවෙත් android automative කියලා. ඉතින් මේ වසරේ එහි කටයුතු අවසන් කර එය Google I/O හිදි එළිදක්වයි කියලත් අපිට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්.

ඒ වගේම ගිය වසරේ මේ conference එකට සහභාගී වුනු ඔයාලට මතක ඇති, ඔවුන් විසින් Google photos ගැන ලොකු උනන්දුවකින් කතා කළා. ඒ වගේම ඒ සඳහා ලොකු කාලෙකුත් වෙන් කරලා තිබුණා. ඉතින් ඔවුන් අපිට පොරොන්දු වුන දෙයක් තමයි Google photos සමඟ object removal පහසුකම ලබා දෙනවා කියපු එක. ඉතින් මේ වෙන තෙක් ඒ ගැන හෝඩුවාවක් හෝ ප්‍රචාරණයක් සිදුනොවුන නිසා මෙවර conference එකේදිම ඔවුන් මේ ගැන කියන්න ඉන්නවද කියලත් අපිට හිතන්න පුළුවන්.

කොහොමවුනත් මේ විදිහට ඔවුන් මෙවර කතා කරන බවට ඉඟියක් වත් දීල නැති ඒත් දැනටමත් අවසන් අදියරෙහි කටයුතු කරගෙන යන ව්‍යාපෘති කිහිපයකුත් තියෙනවා. මම ඒවයේ නම් පහලින් දාන්නම්. ඒවායෙන් කිහිපයක් ගැන හරි ඔවුන් මේ සැරේ conference එකේදී කතා කරන්න ඉඩ තියෙනවා. කෙසේ වෙතත් ඒව ගැන තවදුරටත් විස්තර ඔයාලට හොයල බලන්නත් පුළුවන්නේ.ඒවා නම් වශයෙන්,

Smart displays

The mid-range Pixel Phone

Google’s Gaming machine

Google’s audio mess විදිහට හඳුන්වන්න පුළුවන්.

ඒ කෙසේ වෙතත් ඉදිරියේදී මේ කියන හැම අලුත් හඳුන්වාදිමක්ම ලෝකයේ ලොකු පෙරලියක් කරන්නට සමත් වෙන බව නම් අපිට හිතාගන්න පුළුවන්. ඉතින් මේ ගැන වැඩි විස්තර Google සමාගමේ නියෝජිතයන්ගෙන්ම අහල දැනගන්න ඔයාලට අවස්ථාව ලැබිල තියෙනවනේ.ඊට කලින් මේ කියපු නිපැයුම් ගැන වැඩි විස්තර දැනගන්න ඕනෙනම් පහල link එකේ තියෙන article එකත් කියවන්න ඔයාලට පුළුවන්.

https://arstechnica.com/gadgets/2018/04/google-io-2018-preview-what-were-expecting-from-googles-big-show/?amp=1

එහෙනම්, මේ අනුමාන කිරීම් වල සත්‍ය අසත්‍ය බව දැනගන්න අපි ලබන සතියේ Google I/O event එකේදී හමු වෙමු.

එතෙක් ඔබට සුබ සතියක් !!