ලොව පුරා පැතිර යන Covid – 19 වසංගත තත්වයත් සමගින් බහුතරයක් රටවල ජනතාවගේ සියලුම ව්‍යාපාර කටයුතු, අධ්‍යාපන කටයුතු, රාජකාරි කටයුතු වගේම එදිනෙදා වැඩ කටයුතුත් අඩාල වී ඇති බව ඔබටත් මටත් පැහැදිලි කරුණක්. ඉතින් මෙවැනි වටපිටාවක් යටතේ හැකි සෑම දෙනාම බොහෝ වැඩකටයුතු අන්තර්ජාලය හරහා කරන්නට යොමු වෙලා තියෙනෙවා. ඔය අතරේ මේ දිනවල ලෝකය පුරා ගොඩක් දෙනෙක් භාවිතා කරන්නට යොමු වෙච්ච application එකක් තමයි Zoom කියන්නේ. මේ app එක ගැන විවිධ විදියේ කතා ගොඩක් රටවල් වලින් අහන්න ලැබුණා. ඒ අතරින් කතාබහට ලක් වෙලා තිබුණු කරුණු කීපයක් ඔබත් සමග බෙදා හදා ගන්න තමයි මේ සූදානම.

මුලින්ම Zoom ගැන තවමත් අහලා නැති අයට ඒ මොකද්ද කියන එක ගැන කියලා ඉන්නම්. කෙටියෙන්ම කියනවා නම් Zoom කියන්නේ දැනට ලෝකයේ පවතින ප්‍රමුඛතම enterprise video communication සේවාවක්. සමාගම පවසන ආකාරයට මේ හරහා online meetings, video webinars, conference rooms, phone calls සහ chat සේවාවන් සඳහා පහසු සහ විශ්වාසදායක cloud platform එකක් සපයනු ලබනවා. ඉතින් දැනට ලෝකයේ මතුව තිබෙන අර්බුදකාරී තත්වය හමුවේ රාජකාරි කටයුතු සඳහා උපකාරකයක් ලෙසට ගොඩක් දෙනෙක් මේ application එක කෙරෙහි යොමු වෙලා තිබුණා. මේ නිසාවෙන්ම ගෙවුණු සති කීපය තුළ එහි දෛනික පරිශීලකයින් ගණන මිලියන 10 සිට මිලියන 200 දක්වා සීග්‍ර වැඩිවීමක් පෙන්වා ඇති බවත් වාර්තා වෙනවා.

කොහොම වෙතත් ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයක සඳහන් වුණේ Zoom හරහා එය භාවිතා පරිඝනකයේ Windows login credentials සොරකම් කළ හැකි තත්වයක් පවතින බවයි. Attacker කෙනෙක් chat interface එකක් හරහා එවන අනාරක්ෂිත URL එකක් කෙනෙක් click කළහොත් පරිගණකයේ Windows password එක එම attackerට ලැබෙන බව තමයි එයින් තවදුරටත් සඳහන් කරලා තිබුණේ. එපමණක් නෙවෙයි මේ හරහා attacker කෙනෙක්ට අවශ්‍ය වැඩසටහනක් එම අදාළ පරිගණකයේ ක්‍රියා කරවීමටත් හැකියාව ලැබෙන බවත් සඳහන්. මෙයට පිළියම් වශයෙන් strong passwords භාවිතා කරන ලෙසටත් සැකකටයුතු links click කිරීමෙන් වැළකෙන ලෙසටත් ඔවුන් අවවාද කර තිබෙනවා.

මේ ගැටලුව පිලිබඳ ශ්‍රී ලංකාවේ පමණක් නෙවෙයි බොහෝ රටවල අවධානයට යොමු වුණු කරුණක්. ඒ නිසාවෙන්ම මේ සඳහා ප්‍රතිචාර දක්වන්නට එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Eric S. Yuan මහතා කටයුතු කර තිබුණා. ඒ අනුව ඔහුගේ නිවේදනයේ සඳහන් වෙන්නේ මේ මොහොතේ සමාගමේ අනෙක් සියලු ඉදිරි වැඩකටයුතු මදකට නවතා, හැකි ඉකමනින් මේ ගැටලුවට තාක්ෂණික පිළියමක් යෙදීමටත් එහි ප්‍රගතිය ගැන සතිපතා ජනතාව webinar එකක් හරහා දැනුවත් කරන්නටත් කටයුතු කරන බවයි.

ඔහුගේ මේ යහපත් ප්‍රතිචාරය නම් බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක් වී තිබුණා. ඉතින් Zoom සමාගම ඉක්මනින්ම මේ ගැටලුවට විසඳුමක් සොයාගෙන මේ දිනවල Zoom භාවිතා කරන මිලියන ගණනක් වූ ජනතාවට ඔවුන්ගේ රාජකාරි කටයුතු සාර්ථකව සහ ආරක්ෂාකාරීව කර ගැනීමට හැකි තත්වයක් නිර්මාණය කර දෙවි’යැයි අපි බලපොරොත්තු වෙමු.

නැවතත් හමුවෙමු, එතෙක් ආරක්ෂාකාරී ක්‍රියා පිළිවෙත් අනුගමණය කරමින් ප්‍රවේශමෙන් සිටින්න!