DNS එහෙමත් නැත්තන් Domain Name System කියල කියන්නේ Internet එකේ තියෙන Directory එකක්. සරලවම කිව්වොත් ඒක හරියට Phonebook එකක් වගේ. Internet පාවිච්චි කරලා මොනවා හරි දෙයක් Search කරන කෙනෙක් ගේ Request එකට අනුව වෙබ් පිටුවල IP ලිපින Domain Names බවට පරිවර්තනය කරන එක තමයි DNS මඟින් කෙරෙන ප්‍රධානතම රාජකාරිය වෙන්නේ. ඒ සඳහා විවිධ උපාංගවල IP ලිපින මතක තියාගැනීමේ හැකියාවත් Domain Name System එක සතු වෙනවා. මේ සියල්ල ඉටුකිරීම සඳහා DNS Network එකේ ප්‍රධාන කොටස් දෙකක් පවතිනවා. ඒ තමයි server පාර්ශවයෙන් Authoritative DNS සේවාව සහ Client පාර්ශවයෙන් Resolver DNS සේවාව.

ඉතින් මම මේ ලිපියෙන් කියන්න හදන්නේ Cloudflare ආයතනය මඟින් හඳුන්වලා දෙනු ලබන අලුත්ම DNS Service එක ගැන. මේක නම් කරලා තියෙන්නේ 1.1.1.1 කියන නමින්. මේ සමාගම ප්‍රකාශ කරලා තියෙන විදිහට 2010 සැප්තැම්බර් මාසයේ ඔවුන්ගේ Authoritative DNS සේවාව හඳුන්වා දීල තියෙනවා. ආරම්භයේ සිටම මේ සේවාව සැලකිය යුතු වේගයක් රඳවා ගනිමින් පුළුල් පරාසයක් ආවරණය කිරීමට සමත් වෙලා තියෙනවා. ඉතින් මෙම සමාගම මඟින් හඳුන්වාදුන් 1.1.1.1 සේවාව මඟින් Authoritative DNS හි වේගය සහ පැතිරීම එලෙසම රඳවා ගනිමින් වඩාත් සාර්ථක Resolver DNS සේවාවක් ඔවුන්ගේ පාරිභෝගිකයන්ට ලබා දෙන බවයි කියැවෙන්නේ.

මේ විදිහට ඔවුන් පාරිභෝගිකයන්ට ලබා දෙන විශේෂතම වාසිය වෙන්නේ තොරතුරු වල ආරක්ෂා සහගත බව සහ එවායේ පෞද්ගලිකත්වය. ඒ සඳහා, මෙම සේවාව භාවිතා කරන්නන්ගේ සෙවුම් පිලිබඳ තොරතුරු (Browsing Data) වාණිජ සමාගම් වලට ලබා නොදී සිටීමට ඔවුන් කටයුතු කරනවා. ඒ නිසා ඔබ මෙම සේවාව භාවිතා කරන කෙනෙක් නම් වෙළඳ දැන්වීම් වලින් තොරව වෙබ්පිටු හරහා සැරිසරන්නට ඔබට අවස්තාව හිමිවෙනවා. ඊට අමතරව මෙහිදී අප පිවිසෙන සියලුම වෙබ්අඩවි වල ලිපිනයන් සහ සෙවුම් වල IP ලිපින, Disk එකක ලිවීම සිදුවෙන්නේ නැහැ. ඒ වගේම තාවකාලික මතකයේ රඳවා තිබෙන සියලුම Logs පැය 24 ක් ඇතුලත මකා දැමීමට මෙහිදී කටයුතු කෙරෙනවා. මෙම සමාගම විසින් කියා සිටින විදිහට ඔවුන්ගේ ප්‍රධාන ආදායම විදිහට තම පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු වෙනත් සමාගම් සඳහා විකිණීම ඔවුන් අනුමත කරන්නේ නැහැ. මේ අලුත් DNS සේවාවේ ගුණාත්මක භාවය පවත්වාගෙන යෑම සඳහා එයටම විශේෂිත වූ විගණක කණ්ඩායමක්ද ඔවුන් සතු වෙනවා. මේ විගණක කණ්ඩායම ඔවුන්ගේ සමාගම විසින් සපයන සේවාව පිළිබඳව නිරන්තර අධ්‍යනයක යෙදෙමින් එහි ගුණාත්මක භාවය වැඩි කිරීම සඳහා කටයුතු කරනවා.

ඉතින් දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි කවදද මේ සේවාව අපිට භාවිතා කරන්න හම්බ වෙන්නේ කියන එක. ඒකට උත්තරේ මම දෙන්නම්. Cloudflare ආයතනය කියා සිටින විදිහට මේ සේවාව එළිදක්වලා තියෙන්නේ 2018 වර්ෂයේ අප්‍රේල් 1 වෙනිදා. ඒ කියන්නේ මේ වෙනකොටත් මේ සේවාව පාරිභෝගිකයන් සඳහා විවෘත වෙලයි තියෙන්නේ.

ඔන්න දැන් ඔයාලටත් පුළුවන් අන්තර්ජාලයට සම්බන්ධ විය හැකි ඕනෑම උපකරණයකින් ඔයාලට පුරුදු Web browser එක පාවිච්චි කරලා,  https://1.1.1.1/ වෙත පිවිසිලා වඩාත් වේගවත් සහ ආරක්ෂා සහිත DNS සේවාව භාවිතා කරන්න.

නැවත අලුත් ලිපියකින් හමු වෙනතුරු ඔබට ජය!