Facebook සමගින් Libra නම් වූ cryptocurrency ඒකකයක් නුදුරේදීම ලෝකයා හමුවට එන්න නියමිත බවට පුවතක්, පහුගිය හෝරා කීපය පුරාවටම විශාල වශයෙන් අන්තර්ජලයේ දකින්න ලැබුණා. ඉතින් ඇත්තටම මේ ආරංචිය මොකද්ද කියලා හොයලා බලන අතරේ දැනගන්න ලැබුණු කරුණු කීපයක් ඔබ සියලු දෙනා සමග බෙදා හදා ගන්න තමයි මේ සුදානම් වෙන්නේ.

මුලින්ම අපි බලමු cryptocurrency ඒකකයක් කියන්නේ මොකද්ද කියලා…

කෙටියෙන්ම කියනවානම් cryptocurrency ඒකකයක් කියලා කියන්නේ digital asset එකක්. අපි අන්තර්ජාලය හරහා විවිධ සේවාවන් ලබා ගනිද්දී බොහෝ විට ගණුදෙනු කටයුතු සඳහා යොදා ගන්නේ අපේ credit cards නැත්නම් debit cards. නමුත් මේ ගණුදෙනු කිරීමේ ක්‍රමයට ආදේශකයක් විදියට මිට අවුරුදු කීපයකට ඉහතදී මේ cryptocurrency හඳුන්වා දෙනු ලැබුණා. ඒ අනුව දේශීය මුදල් ඒකකයක්, Libra මුදල් ඒකකයට හුවමාරු කරගෙන ගණුදෙනු කිරීමට මේ හරහා හැකියාව ලැබෙනවා. Blockchain තාක්ෂණයත් සමගින් මුහු වෙමින් ක්‍රියාත්මක වෙන මේ cryptocurrency හරහා ඉතාමත් ආරක්ෂිතව සහ පහසුවෙන් ගණුදෙනු කටයුතු සිදු කළ හැකි බව තමයි බොහෝ දෙනා මේ ගැන අදහස් දක්වමින් පවසා සිටියේ. පහුගිය අවුරුදු කීපය පුරාවටම විවිධ cryptocurrency ඒකකයන් හඳුනවා දී තිබුණා. ඉතින් අද මේ කියන්න යන Libra එක්කයත් මේ විදියටම හඳුනවා දෙන්න නියමිත cryptocurrency ඒකකයක්. නමුත් විශේෂත්වය වෙන්නේ මෙය Facebook සමාගම මගින් හඳුන්වාදීමයි.

Facebook මගින් Libra කරළියට ගෙන ඒමට තීරණය කරලා තියෙන්නේ මෙන්න මේ නිසයි…

Facebook සමගම පවසන ආකාරයට ඔවුන් Libra cryptocurrency ඒකකය හඳුන්වා දීමත් සමගින් online payments සඳහා වඩාත් සුදුසුම ගණුදෙනු කිරීමේ ක්‍රමය එය වෙනු ඇතැයි ඔවුන් විශ්වාස කරනවා. දැනට වාර්තා වන තොරතුරු අනුව Facebook සමාගම Facebook, Instagram සහ Whatsapp කියන මේ සමාජ ජාල හරහා ඉදිරියේදී වෙළඳ කටයුතු සඳහාත් වඩාත් වැඩි ඉඩකඩක් ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ගණුදෙනු කටයුතු සඳහා ප්‍රධාන වශයෙන් Libra යොදාගත හැකි බවයි පැහැදිලි වෙන්නේ. මේ පිළිබඳව තවදුරටත් විස්තර කරමින් ඔවුන් පවසා ඇත්තේ ඊට අමතරව වෙනත් වෙබ් අඩවි වල online shopping සේවාවන් සඳහාත් Libra යොදා ගත හැකි බවයි.

දුර්වල බැංකු පහසුකම් සහිත සංවර්ධනය වෙමින් පවතින රටවල, අඩු වියදමකින් මුදල් තැන්පත් කර තබා ගැනීමේ ක්‍රමයක් විදියට වගේම මුදල් හුවමාරු කිරීමේ ක්‍රමයක් විදියටත් මේ cryptocurrency එක යොදා ගත හැකි බවයි වාර්තා වල සඳහන් වුණේ. උදාහරණයක් විදියට වෙනත් රටකට මුදල් යැවීමේ අවශ්‍යතාවයක් පවතින අවස්ථාවක Libra භාවිතයෙන් ඉතාමත් පහසුවෙන් සහ ආරක්ෂිතව අඩු වියදමකින් එය සිදු කර ගත හැකි වෙනවා.

Libra සහ Bitcoins අතර සම්බන්ධය මොන වගේද?

මෑත ඉතිහාසයේ ඉතාමත් ප්‍රසිද්ධියට පත්වුණු cryptocurrency ඒකකයක් විදියට Bitcoins හඳුන්වන්න පුලුවන්. Bitcoins වලදී වගේම Libra වලදීත් භාවිතා වෙන්නේ nodes භාවිතයෙන් කළමනාකරණය කෙරෙන සියලු ගණුදෙනු oniline ලෙජරයක update වෙන Blockchain තාක්ෂණයම තමයි. නමුත් විශේෂත්වය වෙන්නේ Libra සංචිත අරමුදලක් (reserve fund) මගින් පාලනය වෙන නිසා එහි අගයේ ස්ථාවරත්වයක් දකින්න ලැබීමයි. ඒවගේම තවත් වෙනස්කමක් තමයි blockchain වල ගණුදෙනු පිලිබඳ update වෙන්නේ public blockchain එකක. නමුත් Libra වල blockchain opensource වුනත් එයට තවත් features add කරන්න අවශ්‍ය නම් ඒ සඳහා Facebook සමාගමේ අනුමැතිය ලබා ගත යුතු වෙනවා.

Libra usersලාගේ පුද්ගලිකත්වය ආරක්ෂා වේවිද?

Libra වලට සමගාමීව ‘Calibra wallet’ නම් තවත් සේවාවක් හඳුන්වා දීමට Facebook සමාගම සුදානම් වෙනවා. එය digital මුදල් පසුම්බියක් ව්දියට ක්‍රියාත්මක වන බව තමයි දැනගන්න ලැබෙන්නේ. ඉතින් Facebook සමාගම පවසන ආකාරයට මේ විදියට වෙනම සේවාවක් හඳුන්වා දීමෙන් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මෙහි අන්තර්ගත usersලාගේ ගණුදෙනු පිලිබඳ තොරතුරු වෙනත් සේවාවන්ගෙන් වෙන් කර, ගනුදෙනුකරුවන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමයි.

Libra සමගින් කටයුතු කිරීමට නියමිත අනෙකුත් සමාගම් මොනවාද?

මේ වන විටත් Facebook ආයතනය සමග කටයුතු කිරීමට PayPal, Uber, Visa, eBay වැනි සමාගම් 28ක් සිය කැමැත්ත පල කර තියෙනවා. තවත් සමාගම් රාශියක් ඉදිරියේදීත් Libra සමගින් අත්වැල් බැඳ ගැනීමට නියමිත බවයි වාර්තා වෙන්නේ. ඉතින් මේ හරහා දේශීය මුදල් ඒකකයක් Libra මුදල් ඒකකයට හුවමාරු කොට, අමතර ගනුදෙනු ගාස්තු නොමැතිව මේ සමාගම් සමගින් ගණුදෙනු කිරීමටත්, අවශ්‍ය වූ විටකදී නැවත ඔබේ ඉතිරි මුදල් ලබා ගැනීමටත් හැකියාව ලැබෙනවා.

මීළඟ වසරේ මැද භාගය වනවිට  ≋  ඒකකය සමගින් Libra ලෝකයා හමුවට පැමිණීමට නියමිතයි. මිට සමගාමිව ලෝක ආර්ථිකයටත් යම් බලපෑමක් එල්ල විය හැකි බවට බොහෝ දෙනා මත පල කර තිබෙනවා. කෙසේනමුත් ගණුදෙණු කටයුතු පහසු කරගැනීමටනම් Libra විශාල වශයෙන් හේතු වන බව නම් නොඅනුමානයි.

මෙවන් තොරතුරක් සමගින් නැවතත් හමුවෙමු…