අපි ගොඩක් දෙනෙක්ට Facebook නැතිවම බැරි සමිපතයෙක් වෙලා අවසානයි. ඒ නිසාවෙන්ම මේ වන විට ලෝකය පුරා ප්‍රචලිතම සමාජ ජාල වෙබ් අඩවි වලින් එකක් විදියට Facebook හඳුන්වන්නත් පුලුවන්. කාලයෙන් කාලයට තමන්ගේ පාරිභෝගිකයින් අතට සිත් ඇදගන්නාසුළු විශේෂාංග, එහෙමත් නැත්නම් features හඳුන්වා දෙමින්, තමන්ගේ සේවාව තවදුරටත් වැඩි දියුණු කරගන්නත් Facebook සමාගම නිතරම වෙහෙස මහන්සි වෙනවා. නමුත් ලොව පුරා විහිදී සිටින බිලියන ගණනක් වූ Facebook පාරිභෝගිකයින් ඔවුන් වෙත මේ ලබා දෙන features නිවැරදිව භාවිතා කරනවද කියන කාරණාව මේ වෙද්දී බොහෝ දෙනෙක්ට මතු වී තිබෙන ගැටළුවක්. මේ නිසා ක්‍රමක්‍රමයෙන් මේ Facebook features වලට යම් යම් සිමා පනවන්න Facebook සමාගම කටයුතු කරන බව පැහැදිලියි. මේ සම්බන්ධයෙන් මෑතකදී දැනගන්න ලැබුණු ආරංචිය තමයි Facebook live-streaming සඳහා සිමා පනවන්නට Facebook සමාගම කටයුතු කරන බව. ඉතින් මේ සුදානම් වෙන්නේ ඒ පිළිබඳව කරුණු කීපයක් ඔබත් සමග බෙදා හදා ගන්නයි.

Facebook සමාගම පවසන ආකාරයට මේ සිමා පැනවීම සඳහා ඔවුන් ‘one strike’ නමින් ප්‍රතිපත්තියක්, එහෙමත් නැත්නම් policy එකක් හඳුන්වා දෙන්න සුදානම් වෙනවා. මේ හරහා Facebook live-streaming හරහා එක් වතාවක් Facebook Community Standards උල්ලංඝනය කළහොත්, එම පුද්ගලයා සඳහා live-streaming feature එක තහනම් කිරීමට කටයුතු කරන බවයි වාර්තා වෙන්නේ. මේ ‘one strike’ policy එක, live-streaming සඳහා පමණක් නෙවෙයි, තවත් බොහෝ Facebook features වලටත් අදාළ වෙන බව තමයි මේ ගැන තව දුරටත් කරුණු දක්වමින් ඔවුන් පවසා ඇත්තේ.

යම් අවස්ථාවකදී යම් කිසි Facebook user කෙනෙක් තමන්ගේ profile එක හරහා, සමාජයට හානිදායක link එකක්, එහෙමත් නැත්නම් ත්‍රස්තවාදීන්ට සම්බන්ධ website එකකට අදාළ link එකක් වගේ දෙයක් share කරලා තිබුණොත්, ඒ වගේ Facebook profiles සඳහාත් මේ live-streaming තහනම් වෙන බවයි වාර්තා වල සඳහන් වුණේ.

මේ හරහා Facebook live-streaming සමාජයට යහපතක් වන ආකාරයට පමණක් යොදා ගැනීමට තමන්ගේ පාරිභෝගිකයින් යොමු කිරීමට අවස්ථාවක් ලැබෙයි කියන විශ්වාසය Facebook සමාගම සතුව තියෙන බව පැහැදිලියි. ඉතාමත් ඉකමනින්, කලින් සඳහන් කළ ආකාරයට Facebook Community Standards උල්ලංඝනය කරන අය සඳහා Facebook ads නිර්මාණය කිරීමේ අවස්ථාවද අහිමි වන ලෙසට කටයුතු යොදන්නටත් ඔවුන් ක්‍රියා කරමින් යන බවත් Facebook සමාගම පවසා තිබුණා.

මෙලෙස live-streaming සඳහා සිමා පැනවීමට ඔවුන් ක්‍රියා කර ඇත්තේ මෑතකදී නවසීලන්තයේදී සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයක් Facebook live-streaming හරහා සමජගත වී ඉතාමත් වේගයෙන් ලොව පුරා සැරිසැරුණු නිසාවෙන්මයි. ඒ අවස්ථාවේදී Facebook සමාගම වෙත දැඩි විවේචන එල්ල වුණා. ඉතින් යලිත් එවන් දෙයක් සිදු නොවීමට මෙම සිමා පැනවීම උපකාරී වෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි ඔවුන් මේ සිමා පැනවීම සිදු කර තියෙන්නේ.

Facebook හරහා සිදුවන අපරාධ වළක්වා ගනිමින් ලෝකයට යහපතක් පමණක් සිදු කිරීම සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීම සඳහා ඔවුන් තවදුරටත් ක්‍රියා කරගෙන යන බව තමයි වාර්තා වෙන්නේ. ඒ අනුව මේ වගේ සිමා පැනවීම් තව ඉදිරියටත් සිදු වන බව නම් නොඅනුමානයි.

නැවතත් හමුවෙමු…