Google සමාගම කාලයෙන් කාලයට විවිධාකාර වූ නිෂ්පාදන සමගින් ලෝකයා හමුවට එනවා. මෑතකදී ඔවුන් කළ හඳුන්වාදීම් අතර කාගේත් අවධානයට ලක් වුණු සුවිශේෂී app එකක් තිබුණා. මේ app එක අනිත් Google නිෂ්පාදන අතරින් සුවිශේෂී වීමට ප්‍රධානතම හේතුව වුණේ මෙය කුඩා ළමුන් වෙනුවෙන්ම නිර්මාණය වී තිබීමයි. Rivet නමින් release වුණු මේ app එක, කුඩා ළමුන්ගේ කියවීමේ හැකියාව වැඩි දියුණු කිරීම මූලික කරගෙන තමයි නිර්මාණය වෙලා තිබුණේ. ඉතින් මේ ලිපියෙන් අපි මේ app ගැන තොරතුරු හොයලා බලමු!

Google සමාගම Rivet වගේ app එකක් නිර්මාණය කරන්න හිතලා තියෙන්නේ ඇයි?

වර්තමානයේ කුඩා දරුවන් අතර දකින්නට ලැබෙන ප්‍රධාන ගැටළුවක් විදියට ඔවුන් පොත් පත් දුරස් වීම සහ නිසියාකාරව වචන උච්චාරණය කරමින් පොත් පත් කියවීමට ඇති නොහැකියාව දක්වන්න පුලුවන්. ඒ වගේ තත්වයක් ඇති වෙන්න බලපාන හේතු කීපයක්ම අපිට අපේ සමාජයේත් දකින්න ලැබෙනවා. ඊට හේතු සාධක සපයන ප්‍රධාන කාරණාවක් තමයි දෙමවුපියන් අධික ලෙස කාර්ය බහුල වීම. මේ වගේ වටපිටාවක් එක්ක කුඩා දරුවෙක් ළඟ හිඳිමින්, ඔහුව කියවීමට හුරු කිරීමට දෙමවුපියන්ට ලැබෙන ඉඩකඩ ඉතාමත් සීමිතයි. ලෝකයේ සෑම රටකම වගේ දකින්නට ලැබෙන මෙන්න මේ ප්‍රශ්නයට පිළියමක් විදියට තමයි Google සමාගම විසින් Rivet app එක නිර්මාණය කරලා තියෙන්නේ.

Rivet app එකේ ක්‍රියාකාරිත්වය මොන වගේද?

මේ app එක හරහා විවිධ මට්ටමේ කියව්මේ හැකියාව ඇති දරුවන් වෙනුවෙන් වෙන් කරපු පොත් 2000 කට ආසන්න සංඛ්‍යාවක් තියෙන බව තමයි වාර්තා වෙන්නේ. මෙහිදී ගුරුවරයෙක් දරුවෙක්ට කියවන්න හුරු කරන ආකාරයටම ගුරුහරුකම් ලබා දීමේ ක්‍රියාවලියක් සිදු වෙනවා. වචනයෙන් වචනය highlight වෙමින් උච්චාරණය ලබා දෙන්නත්, ඒ ආකාරයටම පොතේ එක පිටුවක් දරුවා වෙනුවෙන් කියවන්නටත් මේ app එක set කරන්න පුලුවන්. ඊට අමතරව කුඩා ළමුන්ට නිවැරදි උච්චාරණය හුරු කරවන්න මෙහිදී speech technology භාවිතා වෙනවා. මේ හරහා දරුවා කියවන ආකාරයට සවන් දී දරුවාගේ කියවීම පිළිබඳව හොඳ නරක පෙන්වා දීමටත් මේ app එකට හැකියාව තියෙනවා.

අනෙක් විශේෂ කාරණාව තමයි කුඩා ළමුන් සඳහා app එකක් නිර්මාණය කිරීමේදී ඔවුන්ගේ සිත් ඇදගන්නාසුළු ආකාරයට එය නිර්මාණය කිරීමත් ඉතාමත් වැදගත්. මේ app ගැන තොරතුරු හොයලා බලද්දී නම් පැහැදිලි වෙන්නේ Google සමාගම ඒ අභියෝගයත් ඉතාමත්ම සාර්ථකව ජය දෙන ඇති බව තමයි. ඒ විතරක් නෙවෙයි, කුඩා දරුවන්ව උද්යෝගිමත් කරන්න avatars වගේම, ඔවුන්ගේ සාර්ථකත්වය මත ලකුණු සහ badges ලබා දෙන rewarding system එකකුත් මේ app එකට අන්තර්ගත කරලයි තියෙන්නේ.

නුදුරේදීම Rivet app එක අපි අතට පත් වෙයිද?

Android සහ iOS platforms දෙක සඳහාම Rivet app එකේ Beta version එක තමයි මේ වනවිට release කරලා තියෙන්නේ. ඉංග්‍රීසි භාෂාව මූලික කරගෙන දැනට නිර්මාණය කරලා තියෙන මේ app එක, මේ වන වීට පර්යේෂණ මට්ටමෙන් ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, කැනඩාව, ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව ඇතුළත්ව, රටවල් 11ක ජනතාව අතර භාවිතයට මුදා හැරලා තියෙන බවට තමයි වාර්තා වෙන්නේ. තවත් දියුණු කිරීමෙන් අනතුරුව නුදුරේදීම තවත් බොහෝ රටවල් සඳහා Google Rivet ලබා දෙන බව තමයි Google සමාගම ප්‍රකාශ කරන්නේ. අවාසනාවන්ත කරුණ තමයි මේ app කවදා මොන විදියට ශ්‍රී ලංකාවට ලැබෙයිද කියන ගැටලුවට තවමත් පිළිතුරක් නොමැති වීම!

දැනට ලෝකයේ පවතින කාලින ගැටලුවකට පිළියමක් සපයමින් Google සමාගම නිර්මාණය කළ මේ app එක දැනට භාවිතයේ පවතින රටවල දෙමවුපියන්ගේ වගේම දරුවන්ගේත් සුවිශේෂී ආදරයට පාත්‍ර වෙලා ඇති බව තමයි අපිට ආරංචි වෙන්නේ. Beta version එක හරහා ඉතා ඉහළ සාර්ථකත්වයක් ළඟා කරගත් Google Rivet app එක, බොහෝ දෙනාගේ ඉල්ලීම නිසාම ඉතාමත් ඉක්මනින් ලෝකය පුරා පැතිරේවි කියන මතය, ලෝකයේ නන් දෙසින් මතු වී තිබුණා. කෙසේ නමුත් ඔවුන්ගේ පර්යේෂණ සාර්ථක වීමෙන් අනතුරුව, වැඩි කල් යන්නට මත්තෙන් Google Rivet ශ්‍රී ලංකාවේත් දකින්නට ලැබෙනු ඇතැයි අපිට බලාපොරොත්තු තබා ගත හැකියි.

නැවතත් හමුවෙමු…