Google I/O extended 2018 event එකට සහභාගීවෙලා හැමෝම ඒ ගැන සතුටින් ඉන්න මේ වෙලාවේ මම හිතුවා එදා event එකේදී අපි අලුතින් දැනගත්ත දේවල් ටිකක් ගැන ඔයාලට කියන්න. මේ event එකට සහභාගී වෙන්න බැරි වුන අය ඉන්නවා නම් එයාලටත් මේ ලිපිය වැදගත් වේවි.

මෙවර google i/o 2018 event එක පැවැත්වුනේ කැලිෆෝර්නියාවේ Mountain View හි Shoreline Amphitheater කියන ස්ථානයේ. හැමදාමත් වගේ මේ සැරෙත් Mr. Sundar Pichai ඇතුළු google කණ්ඩායම අලුතින්ම ලෝකයට හඳුන්වා දෙන්න යන්නේ මොනවද කියලනේ හැමෝම උනන්දුවෙන් බලාගෙන හිටියේ. අපි බලාපොරොත්තු උන විදිහටම ඔවුන් මෙවරත් හැමෝවම අමන්දානන්දයට පත් කරන ආරංචි කිහිපයක් කිව්වා.

Google AI

කෘතීම බුද්ධිය පිළිබඳව ඔවුන් සිදු කරමින් පවතින පරීක්ෂණ සහ ගවේෂණයන් පිළිබඳව සිදුකෙරුණු නවතම කරුණු හෙළිදරව්ව ඉන් ප්‍රධාන තැනක් ගන්නවා. වර්තමානයේදී Google සමාගම විසින් R & D on computer vision, natural language processing, සහ neural networks කියන අංශ පිළිබඳව ඔවුන් වැඩි අවදානයක් යොමු කර තිබෙනවා. ඒ අනුව Google හි ගවේෂණ අංශය (Research division) Google AI නමින් නම් කරන්නත් කටයුතු යොදලා තියෙනවා කියල එහිදී ඔවුන් විසින් කියා සිටියා.

යාවත් කාලීන කරන ලද Google Assistant

මෙවර පැවැත්වුණු conference එකේදී වැඩිම කාලයක් අරන් කතා කලේ මේ මාතෘකාව ගැන කියලයි මට නම් හිතෙන්නේ. Google Assistant සඳහා විවිධ හඬ 6ක් යොදාගෙන තියෙනවා කියලත් ඔවුන් මෙහිදී කිව්වා. Google සමාගම විසින් Google Assistant යන, ඔවුන් විසින් හඳුන්වා දී ඇති යෙදුම වඩාත් ස්වභාවික ලක්ෂණ සහිත එකක් වන ලෙස යාවත්කාලීන කර තිබෙනවා. මේ නිසා පෙරදී මෙන් මේ යෙදුම සමඟ කටයුතු ආරම්භ කරන සෑම විටකම “Hey Google” ලෙස ඇමතීමත්, අවශ්‍ය විධානයක් ලබාදී හෝ සංවාදයක් අවසන් කරන සැම විටකම “OK Google” ලෙස ඇමතීමත් අවශ්‍ය වන්නේ නැති බවයි ඔවුන් කියන්නේ. කාලය ඉතිරි කරගැනීම සඳහා සහ මෙම යෙදුම භාවිතා කරන්නන්ගේ පහසුව තකා ඔවුන් මෙය නවීකරණය කල බවයි සඳහන් කලේ. ඉතින් ඔවුන් කියන විදිහට අපි සාමාන්‍ය ජීවිතයේදී කෙනෙක් සමඟ සිදුකරන ස්වභාවික සංවාදයක් ලෙසම මින් පස්සේ අපිට Google Assistant සමඟ ඒකාත්මික වෙන්න පුළුවන්.

AI සමඟ Google Photos

දැනටමත් ඔයාල හැමෝම දන්නා ඒවගේම හැමෝම වගේ පාවිච්චි කරන යෙදුමක් නේ Google Photos කියල කියන්නේ. මෙහිදි ඕනෑම අයෙකුට පහසුවෙන් photos වල වෙනස්කම් සිදු කරන්නත්, ඒවා edit කරන්නත්, collages හදන්න වගේම photos ගොඩක් ආකර්ශනීය තත්වයට පත් කරන්නට උපකාර වන ගොඩක් tools වර්ග දකින්නට ලැබෙනවා. Google සමාගම විසින් කියන විදිහට දැන් ඒ පහසුකම් සියල්ලම පෙරටත් වඩා දියුණු කරලා තියෙනවලු. මේ නිසා මිට පෙර බොහෝ කාල වෙලාවක් වැය කරමින් සිදු කරගත් සමහර කාර්යයන් වලට දැන් ගත කරන්න වෙන්නේ ඉතාම සුළු කාලයක් ලු. මීට අමතරව Visual search පහසුකමත් තවදුරටත් දියුණු වෙලා තියෙනවා කියල තමයි ඔවුන් කිව්වේ.

Google Assistant සමඟ Google Maps

අපි නිතරම පාවිච්චියට ගන්න යෙදුමක් Google Maps කියල කියන්නෙත් නේ. ඒ නිසා මේ ගැන නම් කාටවත් විශේෂ හඳුන්වාදීමක් කරන්න ඕන වෙන එකක් නෑ. ඉතින් මේ විදිහට Google Maps භාවිතා කරන හැමෝටම හොඳ ආරංචියක් Google සමගම විසින් මෙවර i/o conference එකේදී කිව්වා. ඔවුන් එහිදී කිව්ව විදිහට අලුතින් හඳුන්වා දෙන පහසුකම ඔස්සේ අපි සෙවුම සිදුකරන ස්ථාන පිළිබඳව වඩාත් පැහැදිලි දසුන් හා තොරතුරු අපට ලබාගත හැකියි. මෙහිදී අප Street View තුලට ඇතුල් වී සිටින්නා සේ හැඟෙන පරිදි ඒ ඔස්සේ අපට ගමන් කල හැකියි. ඊට අමතරව මේ සඳහා Google Lens භාවිතයෙන් ගොඩනැගිලි, සතුන් සහ මග දෙපස පෙනෙන අකුරුත් හඳුනා ගත හැකි බව ඔවුන් කියා සිටිනවා. මේ පිළිබඳව සවිස්තරාත්මක විස්තර සහිත වීඩියෝ පටයක් මෙහිදී පෙන්වන්නත් ඔවුන් අමතක කලේ නෑ.

AI සමඟ අලුත් වූ Google News

Google News සමඟ AI සම්බන්ධ කිරීමෙන් මෙම යෙදුම භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව වැඩි කරගැනීම ඔවුන්ගේ අදහස බව google සමගම විසින් ප්‍රකාශ කර සිටියා. මෙය භාවිතා කරන්නන් සඳහා වඩාත් ආකර්ශනීය සහ විශ්වසනීය තොරතුරු ලබාදීම මෙහි ප්‍රධාන අරමුණක් බවත් එහි මුල් අදියරයක් ලෙස Google හි digital magazine app එක, Newsstand සහ YouTube, සඳහා  “newscasts” සහ “full coverage” මඟින් භාවිත කරන්නන් සඳහා පැහැදිලි විස්තර සහ ඔවුන් කැමති දේ පිළිබඳව තොරතුරු ලබාදෙන ලෙස සකස් කර තිබෙනවා.

යාවත්කාලීන කල මෙහෙයුම් පද්ධතිය Android P

Google i/o වැඩසටහනේදී  කතාකරන දේවල් පිළිබඳව ඉගි ලබාදීමට, අපි කලින් ඔයාලට ඉදිරිපත් කරපු ලිපියකත් මේ ගැන ගොඩක් විස්තර කියල තිබුනා. ඉතින් අපි අනුමාන කරපු විදිහටම මේ යාවත්කාලීන කරන ලද Android P මෙහෙයුම් පද්ධතිය විශේෂිත වෙනස්කම් රැසකින් සමන්විත වෙලා තියෙන බවයි ඔවුන් පැවසුවේ. මෙහිදී සිදු වෙලා තියෙන ප්‍රධානතම වෙනස්කම තමයි navigation buttons තුනක් සහිතව පැවති style එක වෙනුවට Home button එකක් පමණක් භාවිත කිරීම. මෙතෙක් කල් අනෙකුත් බොත්තම් වලින් සිදු වුනු app එකකින් app එකකට මාරු වීම සහ ආපසු ගමන් කිරීම යන කාර්යයන් දෙකම මෙහිදී Home button එක වෙත පැවරී තිබෙනවා. මේ පිළිබඳව වූ වැඩි විස්තර සහිත ලිපියක් අපේ site එකේ තියෙනවා. එකත් කියවලා බලන්නකෝ.