Google Maps කියන්නේ මේ වෙන කොට අපි කාටවත් නුහුරු නුපුරුදු දෙයක් නෙවෙයි! මොනයම් අවස්ථාවකදී හෝ අතරමං වුනොත්, අපේ ගමනාන්තයට ළඟා විය හැකි වේලාව පිලිබඳ අදහසක් ලබාගන්න අවශ්‍ය වුණත්, ගමනාන්තයට ඇති දුර දැනගන්න අවශ්‍ය වුණත්, අප ඕනෑම කෙනෙක් නිතැතින්ම Google Maps භාවිතා කරන බවට කිසිදු සැකයක් නැහැ. නමුත් ශ්‍රී ලංකාවේ අපිට Google Maps වෙතින් මෑතක් වෙන තුරුම පොදු ප්‍රවාහන සේවයට අදාළ තොරතුරු ලබාගන්නට හැකියාව ලැබුණේ නැහැ. නමුත් දැන් මේ සඳහාත් අවශ්‍ය පහසුකම් සැකසිලා අවසන්! ඒ ශ්‍රී ලංකාවට Google Transit feature එක හඳුන්වා දීමත් සමගයි!

මේ Google Transit සේවාව ශ්‍රී ලංකාවේ භාවිතයට හඳුන්වා දුන්නේ පසු ගිය ජුලි 12 වෙනිදා. ඒ ජාතික ගමනාගමන කොමිසමේ ( NTC ) 25 වන සංවත්සරයට සමගාමිව, විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්. නමුත් මේ සේවාව හඳුන්වා දුන්නේ බස්නාහිර පළාතට පමණයි. මිට හේතුව නම් තවමත් අනෙකුත් පළාත් වලට අදාළව දත්ත ගබඩාවන්වල අඩුපාඩු පැවතීමයි.

Google Transit සේවාව හරහා බස් මාර්ග, දුම්රිය මාර්ග, දුම්රිය ස්ථාන ආදී පොදු ප්‍රවාහන සේවාවට අදාළ තොරතුරු ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. දැනට වාර්තා වන තොරතුරු අනුව දුම්රිය රතු පැහැයෙන්ද, බස් රථ නිල් පැහැයෙන්ද, නගරාන්ත බස් රථ කොළ පැහැයෙන්ද පෙන්නුම් කරනු ලබනවා. GPS පහසුකම් සහිත බස් රථ මේ පද්ධතියට සම්බන්ධ වීම හරහා යම්කිසි බස්රථයක්, යම්කිසි ස්ථානයකට පැමිණෙන්නට කොයිතරම් වේලාවක් යනවාද යන්න දැනගන්නටත් හැකියාව ලැබෙන බවයි දැක්වෙන්නේ.

මේ ව්‍යාපෘතිය මෙහෙයවෙන්නේ මොරටුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දීමන්ත ද සිල්වා මහතා. ඔහු පවසන ආකාරයට බස්නාහිර පළාතේ මේ සේවාවේ සාර්ථකත්වය මත පදනම්ව, හැකි ඉක්මනින් අනෙක් පළාත් වලටත් Google Transit සේවාව ලබා දීමට කටයුතු කරගෙන යන බවයි වාර්තා වෙන්නේ.

Google Maps වෙතින් ලැබෙන මේ Google Transit සේවාව නිසාවෙන් දැන් බස් මාර්ග ගැන නිසි අවබෝධයක් නැති කෙනෙකුට වුණත් ඉතාමත් පහසුවෙන් ඒ පිළිබඳව තොරතුරු ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. යම්කිසි ගමනාන්තයකට පොදු ප්‍රවාහන සේවයක් භාවිතා කළ හොත් ඒ සඳහා ගතවන වේලාව, භාවිතා කළ හැකි ප්‍රවාහන සේවාවන් මොනවාද, ඒ ආශ්‍රිත බස් නැවතුම්පොළවල් සහ දුම්රිය ස්ථාන මොනවාද ආදී කරුණු පිළිබඳවත් මේ හරහා කරුණු දැනගන්න පුලුවන්. දැනට බස්නාහර පළාතේ බස් මාර්ග 785ක් සහ දුම්රිය මාර්ග 369 ක් මේ හරහා ආවරණය වන බව ප්‍රකාශිතයි. ඔබත් බස්නාහිර පළාතේ සිටින්නෙක් නම්, ඔබටත් මේ පහසුකම අත්විඳීමට හැකියාව තියෙනවා. ඔබ කළ යුත්තේ ඔබගේ android හෝ iOS දුරකතනයේ Google Maps update කර ගැනීම පමණයි!

මෙවන් තොරතුරක් සමගින් නැවතත් හමුවෙමු…