වර්තමානෙ වෙද්දි හැමෝම වගේ දන්න ආයතනයක් තමයි Google කියන්නේ. ඉතිං මේ G Suite කියන්නේ එයාලගෙ නිර්මාණයක්. මේ එක G Suite එක කාලෙන් කාලෙට යාවත්කාලීන කරන්න නැත්නම් update කරන්න Google සමාගම පියවර ගන්නවා. අද කියන්න යන්නේ මෑතකදී හඳුන්වා දුන්න වෙනස්කමක් ගැන මොකද්ද මේ G Suite කියන්නේ? තාම අදහසක් නැති අයට දැනගන්නත් එක්ක සරලව කියන්නම් මේ ගැන.

G Suite කියන්නේ ඇත්තටම මොකද්ද?

Cloud Computing යොදාගෙන Productivity Software(ඒ කියන්නෙ MS Office, Excel වගේ තොරතුරු එක්ක ගණුදෙනු කරන්න හදපු මෘදුකාංග) සහ Collaborative Software(Google Docs වගේ ගොඩක් අය එක්ක real time වැඩ කරන්න පුළුවන් මෘදුකාංග) කීපයක් අන්තර්ගත කරලා එක pack එකක් විදියට නිර්මාණය කරපු, මෘදුකාංග කට්ටලයක් කියල සරලවම G Suite හඳුන්වා දෙන්න පුළුවන්. G Suite එක මුල්ම වරට නිකුත් වුණේ 2006 වසරෙදි “Google Apps for Your Domain” යන නම සහිතවයි. කාලෙත් එක්ක මේ නමත් යාවත්කාලීන වුණා.

මොනවද මේ suite එකේ තියෙන මෘදුකාංග?

Google Docs, Sheets, Slides වගේ ඒවා Collaborative Software බව ඔයාලත් දන්නව ඇති. ඇත්තම කිව්වොත් අද වෙනකොට විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න අපි ගොඩක් වැඩ ලේසියෙන් කරගන්නෙ, අපේ වචනෙන් කිව්වොත් “ගොඩ දාගන්නෙ” Googleලාගෙ මේ software pack එක නිසයි. Google Drive එකේ අපිට අවශ්‍ය දේවල් store කරල තියාගන්න පුළුවන්. ඒක නම් මේ වෙද්දි නොදන්න කෙනෙක් නෑ. Gmail එකට ගිය මොහොතෙ ඉඳන් දකින සහ භාවිතා කරන software ඔක්කොම මේ suite එකේ තියෙනවා.

G Suite එකේ අළුතින් වුණ වෙනස්කම මොකද්ද?

මේක අදාළ වෙන්නෙ Google Drive එකට. හැබැයි මුලින්ම කියන්න වෙනවා මේ feature එක තාම තියෙන්නේ beta version එකේ. ඒ කියන්නෙ ඔයාලට තාම මේ විශේෂාංගය දැකගන්න අවස්ථාව නෑ. දැනට තියෙන drive interface එකේ වම් පැත්තෙන් sidebar එකක් තියෙනව හැමෝම දැකල ඇති. මෙතනට තව option එකක් විදියට Priority කියල page tab එකක් එකතු කරල තියෙනවා.

Priority page එක Machine Learning යොදාගෙන කරපු ගොඩක් වටින වෙනස්කමක්! මේ page එකෙන් කරන්නෙ අපි වැඩ කරන්න ඉන්න files හොයාගෙන ඒවා suggestions විදියට අපිට පෙන්නන එක. තවත් විදියකින් කියනව නම් අපේ හිත කියවනවා වගේ! මේ විශේෂාංගයේ අරමුණ වෙලා තියෙන්නෙ අපිට වඩාත් වැදගත්ම ලිපි ගොනු එකම තැනකින් බලාගන්න ඉඩ සැලැස්වීමයි. අපි priority page එක open කරාම අපිට වැදගත්ම දේවල් comments සහ ඒ ලිපිගොනු එක්ක අපි කරන්න ඉන්න දේවල්(actions) එක්කම පෙන්නනවා. Comments වලට මේ page එකේ ඉඳන්ම reply කරන්න සහ එක mouse ක්ලික් එකකින් කෙලින්ම ලිපිගොනුවට යන්න Priority feature එක අපිට ඉඩ සලසනවා. අළුතින්ම ආපු comments හොයන්න යන කාලය ඉතුරු කරගන්නත් මේ නිසා හැකියාව තියෙනවා.

මීට අමතරව අපි වැඩ කරන projects/folders වෙන වෙනම work-spaces විදියට අපිට හදල දෙනවා. ඒකෙන් අපේ වැඩ හොඳට සංවිධානය කරගන්න පුළුවන්. පහල ඔයාලට බලාගන්න පුළුවන් priority page එකේ UI එක.

ඉතිං මේ අළුත් වෙනස්කම මං කලින් කිව්ව වගේම අපි හැමෝටම බලාගන්න බෑ. තාම මේ feature එක  නැත්නම් Priority Drive එක, Google සමාගම විසින් ලබා දෙන්නෙ සීමිත පිරිසකට විතරයි. මේක අවශ්‍ය කෙනෙක් කොහොමද අරගන්නෙ කියල මේ වෙබ් අඩවියට ගියාම ඔයාලට බලන්න පුළුවන්. එතන තියෙන form එක පුරවල Google එකෙන් ඉල්ලීමක් කරන්න පුළුවන් මේ feature එක අපිට ලබාදෙන්න කියලා. ගොඩක් දුරට ආයතනයක් විදියට ඉල්ලීම කරන්න සිදු වෙයි. තවම දන්නෙ නෑ මේක අපි ඕනෙ කෙනෙක්ට ගන්න පුළුවන්ද කියලා. එහෙම පුළුවන් කියල දැනගත්තොත් ඔයාලටත් කියන්නම් ඒ සුභ ආරංචිය. ඒ වෙනකම් GGSLK එක්ක දිගටම රැඳිල ඉන්න. අළුත්ම technology updates ඉක්මණින්ම දැනගන්න පුළුවන් ඔයාලටත්!

මූලාශ්‍රය :

https://gsuiteupdates.googleblog.com/2018/09/priority-in-google-drive-beta.html