Huawei තහනම කියන්නේ පසු ගිය දින කීපයේදී ලෝකය පුරා වැඩි වශයෙන්ම කතා බහට ලක් වුණු මාතෘකාව කියන්න පුලුවන්. Android සේවාව Huawei වෙත අහිමි වෙනවාත් සමගම, Intel, Broadcom, Qualcomm, සහ Xilinx වගේ සමාගම් වලින් Hardware devices සැපයුමද Huawei වෙත අහිමි වුණා. නමුත් දැන් හෝරා කීපයකට පෙර දැනගන්න ලැබුණු ආරංචිය නම් ඊටත් වඩා බරපතලයි. ලොව සුපතල chip designer කෙනෙක් වුණු ARM සමාගමත් Huawei සමගින් තිබුණු සියලු ව්‍යාපාරික සම්බන්ධකම් නවතා දමන්නට තීරණය කරලා. ඉතින් අද මේ ලිපියෙන් ඔබත් සමගින් තොරතුරු බෙදා හදා ගන්නට සුදානම වෙන්නේ ඒ පිළිබඳවයි.

BBC පුවත් සේවය වාර්තා කර තීබු අන්දමට ARM සමාගම තමන්ගේ සේවකයින් වෙත දන්වා තිබුණේ Huawei සමාගම සමගින් දැනට පවතින වෙළඳ ගිවිසුම්, සහන හිමිකම් ඇතුළුව සියලුම ඉදිරි කටයුතු නවතා දමන ලෙසයි. ඔවුන් මෙලෙස තීරණය කර ඇත්තේ එක්සත් ජනපදයේ රජය විසින් පනවන ලද තහනමට අනුකුලව බවත් ඔවුන් තවදුරටත් ප්‍රකාශ කර තිබුණා.

නමුත් මේ ක්‍රියාදාමයත් සමගින් Huawei සමාගම වෙත එල්ල වෙන බලපෑම අතිමහත්. ඊට හේතුව තමයි Huawei සමාගම තමන්ගේ devices වලට යොදාගන්න Kirin processors සඳහා අවශ්‍ය chip architecture designs ලබා ගන්නේ ARM සමාගමෙන් වීම. Huawei සමගම මේ සඳහා ARM සමාගමට බලපත්‍ර ගාස්තු ගෙවමින් මේ සේවාව ලබා ගන්නත් බැඳී සිටියා. නමුත් දැනට උද්ගත වී ඇති තත්වය අනුව, ARM සමාගම විසින් ලබා දුන් ඒ බලපත්‍රය අහිමි වීමත් සමගින් Huawei සමාගමට processors නිෂ්පාදනය කිරීමට නොහැකි වෙනවා.

Android සේවාව අහිමි වීමට පිළියමක් වශයෙන් Huawei සමාගමට OS එකක් නිර්මාණය කිරීමේ හැකියාව තිබුණත්, මේ ගැටළුව සඳහා ඉක්මන් පිළියමක් ගෙන එන්නට බොහෝ විට Huawei සමාගමට නොහැකි විය හැකි බව තමයි ලෝකය පුරා මේ ගැන අවධානයෙන් පසුවන බොහෝ දෙනා අදහස් දක්වලා තිබුණේ.

මේ පවතින තත්වය පිළිබඳව අදහස් දක්වන්න Huawei සමාගමත් අමතක කරලා තිබුණේ නැහැ. ඔවුන් පවසා තිබුණේ, තවත් මස කීපයකටම ප්‍රමාණවත් ලෙස Huawei සමාගම processors නිෂ්පාදනය කර ඇති නිසා දැනට ඒ පිළිබඳව ගැටලුවක් නොමැති බවයි. තව දුරටත් අදහස් දක්වමින් ඔවුන් පවසා සිටියේ ARM ඇතුළුව තමන් වෙත සේවාව සැපයීම අත්හිටවූ සියලු ව්‍යාපාරික සමාගම් සමගින් පවත්වා ගෙන ගිය සමීප සම්බන්ධතාවය ඔවුන්ට වටිනා බවත්, මේ සියලු දේ සිදුවන්නේ ඒ ඒ රටවල දේශපාලනික තත්වය නිසා බවත්, ඔවුන් අවබෝධ කරගෙන ඇති බවයි. තත්වය කෙසේ වෙතත් ඉදිරියටත් Huawei පාරිභෝගිකයින් වෙත ඉහළම සේවාවක් සපයන්නට ඔවුන් බැඳී සිටින බවත් ඔවුන් ප්‍රකාශ කර තිබුණා.

කොහොම වෙතත්, මේ වෙන විට Huawei තහනම ඉතාමත් සිඝ්‍රයෙන් පැතිරී ගොස් හමාරයි. අද වෙනවිට Miscorfot store එකෙත් ඔබට කිසිම Huawei device එකක් දකින්නට ලැබෙන්නේ නැහැ. සියලු බාධක ජය ගනිමින් තමන්ගේ පාරිභෝගිකයින් වෙත විශ්වාසදායි සේවාවක් සැපයීමට Huawei සමාගම මේ මොහොතේත් කටයුතු කරන බව ඔවුන්ගේ ප්‍රකාශ වලින් පැහැදිලි වෙනවා. ඒ නිසාවෙන් Huawei සමාගම තමන්ගේ පාරිභෝගිකයින් වෙත අසාධාරණයක් සිදු නොවන ලෙස කටයුතු කරවි’යැයි අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන්.

නැවතත් හමුවෙමු…