මේ ලිපියෙන් අද කියන්නේ Huawei සමාගම විසින් එළි දැක්වූ නවතම laptop පරිගණකය ගැනයි. මෙය නමින් MateBook X Pro ලෙස හඳුන්වනවා. බොහෝ දුරට මෙම වර්ෂයෙදී Huawei මාදිලියෙන් අළුත් flagship phone එකක් නිකුත් නොවන බව The Verge වෙබ් අඩවිය විසින් ප්‍රකාශ කරල තියෙනවා. ඒ වෙනුවට ඔවුන් විසින් නිෂ්පාදනය කරල වෙළඳපොළට නිකුත් කරපු මේ MateBook X Pro ගැන දැන් කතා කරමු.

මේ පරිගණකය ඇපල් සමාගමේ MacBook නිෂ්පාදන සමග තරඟ වැදිය හැකි මට්ටමේ නිෂ්පාදනයක් බවත් පැවසෙනවා. මෙහි මිළ සඳහන් වන්නේ ඇමෙරිකානු ඩොලර් 1700ක් වැනි ඉහළ අගයක් ලෙසයි. දුටු පලමු අවස්තාවේම මිලදී ගැනීමට හිතෙන විදියට MateBook X Pro නිර්මාණය කරන්න Huawei සමාගම සමත් වෙලා තියෙනවා.

MateBook X Pro හි අළුත්ම features

1.) 91%ක් පැතිරුණු තිරයක්

මේ පරිගණකයේ කැපී පෙනෙන ලක්ෂණය වෙන්නේ මෙම තිරයයි. Full view display කියලයි මෙවැනි display හඳුන්වන්නේ. සාමාන්‍යයෙන් ලැප්ටොප් එකක තිරය වටා යම් ඉඩක් තියෙනවා. මෙහි එම හිඩැස ඉතා අවම වෙන අයුරින් තිරය ස්ථානගත කරල තියෙනවා. 3000 * 2000ක තිර විභේදනයකින් (screen resolution) සහ 260ක PPI අගයක් සහිතව නිපදවා ඇති මෙය LTPS වර්ගයේ සහ ඇඟිලි සලකුණු නොරැඳෙන ආකාරයේ තිරයක්. Full HD වීඩියෝ කිසිම අපහසුතාවකින් තොරව නරඹන්න මේ හරහා අවස්ථාව සැලසෙනවා.

2.) Keyboard එකට සවි කළ කැමරාව

කලින් පැවසූ විදියට තිරය සඳහා වැඩි ඉඩක් ලබාදීම නිසාම සාමාන්‍යයෙන්  laptop පරිගණකයක වෙබ් කැමරාව පවතින ස්ථානයේ මෙහි කැමරාව අන්තර්ගත කිරීමට නොහැකියි. එයට පිළියමක් වශයෙන් යතුරු පුවරුව (Keyboard) මත F6 සහ F7 යතුරු මැදින් තවත් යතුරක් ලෙස කැමරාව ස්ථානගත කරලයි තියෙන්නේ. මෙය මෙගා පික්සල් 1ක කැමරාවක්. මේ කැමරා යතුර තද කළ විට ඉහළට එසවී අප වෙත යොමුවෙනවා. නමුත් මේ කැමරාවේ පිහිටිම අනුව නම් සාමාන්‍ය වෙබ් කැමරාවට වඩා භාවිතය අපහසු බව නිසැකවම කියන්න පුළුවන්.

3.) Fingerprint සංවේදී Power button එක

සාමාන්‍යයෙන් laptop පරිගණකයක, Power බොත්තම ඔබා පසුව ඇඟිලි සලකුණ ලබාදීමයි සිදුවන්නේ. නමුත් මෙහි Power button එක ඔබන අවස්ථාවේදීම අනන්‍යතාව තහවුරු කිරීමේ හැකියාව සහිතයි.

4.) සැහැල්ලු නිමාව සහ දිගු ආයු කාලයක් සහිත බැටරිය

ඉතා සිහින් නමුත් ශක්තිමත් නිමාවක් සහිත මේ ලැප්ටොප් එක වැසූ විට ගණකම වැඩිම අන්තයෙන් මිලිමීටර 14.6ක් හා අඩුම අන්තයෙන් මිලිමීටර 4.9ක් තරම් අඩු ගණකමකින් යුක්තයි. මෙහි බර ආසන්න වශයෙන් කිලෝග්‍රෑම් 1.33ක් ලෙසයි සඳහන් වෙන්නේ. බැටරිය සාමාන්‍ය භාවිතයේදී පැය 14ක් පවතින බව පරීක්ෂණ මගින් තහවුරු කරල තියෙනවා. දීර්ඝ බැටරි ආයු කාලය ලැප්ටොප් එකක් සඳහා ඉතා වටිනා විශේෂාංගයක් බව අපි කවුරුත් දන්න දෙයක්.

5.)  ප්‍රමාණයෙන් විශාල touch pad එක හා සිත් ඇදගන්නාසුළු යතුරු පුවරුව

තරමක් පුළුල් වූ touch pad එකක් Huawei MateBook X Pro සතු වන අතර මෙහි යතුරු පුවරුව දියර වලට ප්‍රතිරෝදීතාවක් දක්වනවා. යතුරු පුවරුව ඇතුළතින් ආලෝකය විහිදුවන නිසා රාත්‍රියෙදී වුවත් පහසුවෙන් මෙමගින් වැඩ කිරීමේ හැකියාව පවතිනවා.

මෙතනදි කතා කරපු විශේෂ features හැර තවත් දේවල් මේ Huawei MateBook X Pro සතුයි. මීට අමතරව Intel® Core i7 8550U හෝ i5 8250U processor එකක්, 2 GB GDDR5 NVIDIA® GeForce® MX150 ග්‍රැෆික් කාඩ් එකක් හා නවතම Dolby Atmos® Sound System එකක් පවතිනවා.  මේ features දැක්කම ඔයාලට අනිවාර්යෙන්ම හිතෙනවා ඇති මේ ලැප්ටොප් එකේ performance කෙතරම් ඉහළ මට්ටමක තියෙනවද කියලා. ඉතිං ඔයාලටත් මේ Huawei MateBook X Pro පරිගණකයක් මිලදී ගන්න උත්සාහයක් දරන්න පුළුවන්, ප්‍රමාණවත් budget එකක් තියෙනවා නම්.

මූලාශ්‍රය : 

https://www.theverge.com/2018/2/25/17049094/huawei-matebook-x-pro-mediapad-m5-pro-release-date-mwc-2018

https://www.techradar.com/reviews/huawei-matebook-x-pro