ඉස්සර නම් අපිට phone එකෙන් image එකක්, නැත්නම් document එකක් අපේ desktop එකට හුවමාරු කරගන්නවා කියන්නේ තරමක් සංකීර්ණ ක්‍රියාවලියක්. මේ සඳහා අපිට භාවිතා කළ හැකිව තිබුණ පහසුම ක්‍රමවේදය විදියට bluetooth තාක්ෂණය හඳුන්වලා දෙන්න පුලුවන්. PC එකේ bluetooth තාක්ෂණය නැත්නම් අදාල documents හෝ images තමන්ගේ phone එකෙන් තමන්ටම email කරගන්න වුණු අවස්ථාත් බොහෝ දෙනෙකුට තියෙන්න ඇති. නමුත් අද වෙනකොට මේ සියලු අපහසුතාවයන් මග හරින්නට පුලුවන් සුපිරිම ගණයේ ක්‍රමවේදයක් ලොව හමුවට ඇවිත්! මේ පහසුකම ඔබට සැලසෙන්නේ Windows 10 – October 2018 නවතම update එකත් සමගින් එන ‘‍Your Phone’ කියන app එක හරහා.

මොකද්ද ඇත්තටම මේ Your Phone app එක?

දැනට වාර්තා වෙන විදියට අපේ phone එකේ තියෙන ඕනෑම image එකක්, නැත්නම් text එකක් මේ app එක හරහා අපිට අපේ desktop එකේ view කරගන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි, අපේ desktop එක හරහා අපේ PC එකේ අපි භාවිතා කරන ඕනෑම application එකකට මේ texts සහ images  ඉතාමත් පහසුවෙන් drag කරන්න, drop කරන්න, copy කරන්න, වගේම paste කරන්න අවශ්‍ය ඉඩ ප්‍රස්ථාවත් මේ app එක හරහා සලසා දෙනවා. අනෙක් සුවිශේෂී කාරණාව තමයි මෙම දත්ත හුවමාරුව සඳහා phone එක පරඝණකයට සම්බන්ධ කර තිබීම අත්‍යවශ්‍ය නැහැ. මෙම ක්‍රියාවලිය Wi-fi තාක්ෂණය හරහා සිදු වන්නක්.

Microsoft සමාගම පවසන ආකාරයට ඔක්තොම්බර් 9 වෙනිදා හෝ ඊට ආසන්න දිනයක දී ‍Your Phone app එක සුවහසක් Windows 10 පාරිභෝගිකයන් අතට පත්වෙන්නට නියමිතයි. Android 7.0 හෝ ඉන් පසුව release වුණු Android version එකක් use කරන ඕනෑම phone එකක් ‍මේ app එක හරහා Windows 10 desktop එකකට සම්බන්ධ කළ හැකි බවයි වාර්තා වෙන්නේ. මේ මොහොතේදි මේ app එක ප්‍රධනවම images සහ texts වෙත තම ප්‍රධාන අවධානය යොමු කර තිබුණද නුදුරේදීම එය app mirroring feature එක සහිතව ලොව හමුවට පැමිණෙන බවට Microsoft සමාගම ඉඟි පළ කර හමාරයි.

මොකද්ද මේ app mirroring feature එක කියන්නේ?

2019 වසරේදී Your Phone app එක වැළඳ ගනීවි යැයි බලාපොරොත්තු විය හැකි මේ feature එක ක්‍රියාත්මක වෙන ආකාරය ගැන පසුගියදා නිව්යෝක් නුවර පැවති පුවත්පත් සාකච්ඡාවකදී පැහැදිලි කරනු ලැබුණා. ඒ අනුව මෙහිදී සිදු වනුයේ අපේ Android Phone screen එකට සෑම අතින්ම සමාන අනුරුවක් Windows 10 desktop එක හරහා අපිට දැකගන්නට ලැබීමයි. අපේ phone එකේ app list එක මේ විදියට desktop එක හරහා display වෙද්දී, phone එකෙන් වගේම අපිට අවශ්‍ය ඕනෑම app එක තෝරා ගෙන desktop එක හරහා ඒ app එක අපිට පාවිච්චි කරන්න අවස්ථාව උදා කරදීම තමයි මෙහි ඇති විශේෂත්වය.

‍Your Phone app එක Android Phones වලට විතරද?

ඔව් ! ඔක්තෝම්බර් මාසයේ release වෙන ‍Your Phone app එක use කරන්න පුලුවන් Android usersලාට විතරක්ම වන බව නම් Microsoft සමාගම ඉතාමත් පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. iOS usersලාට මීට සමාන app එකක් එන්න නියමිතද කියන ගැටලුවට Microsoft සමාගම තවමත්  නිශ්චිත පිළිතුරක්  ලබා දී නැහැ.

Windows 10 නවතම update එකත් සමගින් හමුවන අනෙකුත් features මොනවාද?

Windows Timeline එක කියන්නේ පසුගිය අප්‍රේල් මාසයේදී release වුණු feature එකක්. ඔබ මෑතකදී භාවිතා කළ files, web sites ආදිය පිළිබඳව තොරතුරු Windows Timeline එක හරහා පහසුවෙන් access කරගැනීමට එය අවස්ථාව සලසනවා. Windows 10 නවතම update  එකත් සමගින් මේ සේවාව තවදුරටත් දියුණු වෙලා. ඔබේ Android phone එක හරහා ඔබ භාවිතා කළ documents, පිවිසුණු websites සහ කිය වූ e-mails පිළිබඳ තොරතුරුද මෙතැන් පටන් ඔබේ PC එකේ Windows Timeline එක හරහා ඔබට පහසුවෙන්ම access කර ගන්න පුලුවන්.

මේ ගැන කියවද්දි අපේ මතකයට එන Windows Phones!

Microsoft සමාගම Lumia 950 Windows 10 Mobile Phone එක හඳුනවලා දුන්නේ හරියටම මීට වසර 3 ට පමණ කලින්. නමුත් මේ වෙනකොට Microsoft Phones භාවිතා වෙන්නේම නැති තරම්. මෙයින් පැහැදිලි වුණේ Mobile OS එකක් ලෙස Windows වල පැවති අසාර්ථකත්වයයි. බොහෝ දෙනා Android වෙත දක්වන ඉමහත් ලැදියාව අවසානයේදී Microsoft Windows, Android සමගින් එක් කරන්නට හේතු වන්නට ඇති.

අද වෙනකොට අපිට අපේ devices එකිනෙකට සම්බන්ධ කර ගැනීමට, එවා අතර පහසුවෙන් සහ වේගයෙන් දත්ත හුවමාරු කරගැනීමට සිදු වන අවස්ථා බොහෝමයි. ඉතින් Windows 10 නවතම update එකත් සමගින් අප හමුවට එන ‍Your Phone app එක වගේම, Windows Timeline update එක අපේ එදිනෙදා වැඩ කටයුතු පහසු කරනවාට කිසිදු සැකයක් නැහැ.

Phone එකක් හරහා තමන්ගේ සියලු වැඩ කරගන්නට උත්සුක වන වටපිටාවක් තුළ තමන්ගේ පාරිභෝගික පිරිස තවදුරටත් පරඝණක වෙත සහ Windows වෙත සමීප කරන්නට දරණ සාර්ථක උත්සහායක් ලෙස Microsoft සමාගමේ මේ පියවර අපිට හඳුනවා දෙන්න පුලුවන්. Android usersලාට වගේම iOS usersලාටත් මේ සේවාවන් ඉක්මනින්ම ලබා දෙන්න Microsoft සමාගම කටයුතු කරයි කියලයි අපේ නම් බලාපොරොත්තුව. කෙසේ වෙතත්  ඔක්තෝම්බර් 9 වෙනිදා ඉඳන් මේ සෙවාවන් අත්විඳින්නට Android usersලාට නම් අවස්ථාව ලැබේවි.

මෙවන් තොරතුරක් සමගින් නැවතත් හමුවෙමු…!