Data Privacy කියන්නේ ගෙවුණු වසර තුළ ඉතාමත් වැඩියෙන් කතා බහට ලක්වුණු මාතෘකාවක්. Facebook හා සම්බන්ධව සිදු වුණු data leaks නිසා වගේම, Windows 10 වල Activity History සම්බන්ධයෙන් මතුවුණු අර්බුධකාරී තත්වයන් නිසාත් මේ මාතෘකාව පිළිබඳව වැඩි දෙනාගේ අවධානය යොමු වුණා. අද මේ බෙදා හදාගන්න යන්න තොරතුරත් data privacy වලටම බොහෝ සෙයින් අදාළයි. Windows 10 සම්බන්ධයෙන් ඇතිවුණු මත බෙදාත්මක තත්වය නිසා Microsoft සමාගම පිළිබඳව සමහර පාරිභෝගිකයින්ගේ තිබුණු විශ්වාසය තරමක් දුරට අඩු වුණා. නමුත් Project Bali හරහා එම විශ්වාසය නැවතත් දිනා ගන්නට ඔවුන් කටයුතු කරන බවක් පෙනී යනවා. මොකද්ද ඇත්තටම මේ Project Bali? ඒ ගැන විස්තර කියන්න තමයි මේ සුදානම…

Microsoft සමාගම Project Bali ගැන සඳහන් කරලා තියෙන්නේ පහත අකාරයටයි.

“With Project Bali, we propose a new personal data bank which puts users in control of all data collected about them. Data is a product created and owned by a user, and therefore belongs to them. The bank will enable users to store all data (raw and inferred) generated by them. It will allow the user to visualize, manage, control, share and monetize the data.”

වාර්තා වෙන තොරතුරු අනුව මේ project එක ක්‍රියාත්මක වෙන්නේ වසර 2014දි Yuri Gurevich, Efim Hudis සහ Jeannette Wing යන තිදෙනා අතින් inverse privacy කියන තේමාව ඔස්සේ ලියවුණු research paper එකක් මූලික කර ගෙනයි. මේ project එක හරහා ඔවුන්ගේ ප්‍රධානම අරමුණ විදියට ඔවුන් දක්වන්නේ යම් user කෙනෙක්ට තමන් පිළිබඳව විවිධ websites වලින් ලබාගෙන ඇති පෞද්ගලික තොරතුරු ගැන දැනගැනීමටත්, ඒවා නිසිලෙස කළමනාකරණය කිරීමටත්, තමන් පිලිබඳ යම් අසත්‍ය තොරතුරු හමු වුනොත් ඒ ගැන ප්‍රශ්න කිරීමටත් platform එකක් නිර්මාණය කිරීමයි. ඒ විතරක් නෙවෙයි යම්කිසි සමාගමක් හෝ පුද්ගල කණ්ඩායමක් යම් කෙනෙක්ගේ තොරතුරු යම් කිසි ආකාරයකින් ප්‍රයෝජනයට ගන්නවානම් එම පුද්ගලයාට ඒ සඳහා මුල්‍යමය වටිනාකමක් ලබා ගන්නටත් මේ සේවාව යොදා ගන්න පුලුවන් වේවි කියලා ඔවුන් බලාපොරොත්තු වෙනවා.

මේ වනවිටත් Microsoft Research යටතේ Project Bali සඳහා beta website එකක්, එහෙමත් නැත්නම් final website එකට මත්තෙන් user interactions සඳහා විවෘත website එකක් නිර්මාණය වෙලා අවසන්. කෙසේවෙතත් මේ website එක තාමත් testing මටටමේ පවතින නිසාවෙන්ම ඒ හා ගණුදෙණු කරන්න නම් මුලින්ම special code එකක් request කරන්න වෙනවා.

Microsoft සමාගම හඳුන්වාදෙන්න සුදානම් වෙන මේ data bank එක තාමත් මුලික අවධියේ පවතින බව තමයි දැනගන්න ලැබෙන්නේ. මෙය තවදුරටත් දියුණු කරමින් ඉහළ සේවාවක් පර්භෝගිකයින් වෙත ලබා දෙන්නට ඔවුන් වෙහෙස මහන්සි වන බව නොයෙකුත් වාර්තා වල සඳහන් වුණා. මේ සේවාව භාවිතයෙන් usersලාට internet හරහා තමන් ගැන රැස් කරගෙන තියෙන්නේ මොන වගේ තොරතුරුද කියන කාරණය නියමාකාරයෙන් දැනගන්න අවස්ථාව ලැබෙන නිසා බොහෝ දෙනෙක්ගේ අවධානය මේ කෙරෙහි යොමු වේවි කියලා ඔවුන් බලාපොරොත්තු වෙන බව නම් පැහැදිලියි. කෙසේවෙතත් Project Bali හි සාර්ථක අසාර්ථකභාවය දැනගන්න නම් අපිට තව සැළකිය යුතු කාලයක් බල හිඳින්න වේවි.

මෙවන් තොරතුරක් සමගින් නැවතත් හමුවෙමු…