තාක්ෂණයේ දියුණුවත් සමගින් එදිනෙදා ජීවිතේදී අපිට ඕන තරම් flexible devices, foldable devices දකින්න, පාවිච්චි කරන්න අවස්ථාව ලැබෙනවා. නමුත්  මෙච්චර කාලයක් Foldable Phone එකක් දැකලා තිබුනද? නැහැ නේද? Foldable Phones කියන්නේ කාලයක් මුළුල්ලේ බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටි නිෂ්පාදනයක්! මෙවන් නිරමාණයක් ගැන බොහෝ අවස්ථාවන්හිදී මත පළවුනත් හරියටම කවදා කොහොම මොන විදියකින් මේ වගේ නිපැයුමක් ලෝකයා අතට පත් වෙයිද කියන ප්‍රශ්නෙට හරි උත්තරයක් තිබුණේ නැහැ. නමුත් ඔන්න දැන් ඒ ප්‍රශ්නෙටත් පිළිතුරක් ලැබිලා. නවතම ආරංචි අනුව Samsung ආයතනයෙන් Foldable Phone එකක්, එහෙමත් නැත්නම් නවන්න පුළුවන් screen සහිත phone එකක් 2019 වසරේදී පාරිභෝගිකයන් අතට පත්කරන්න සූදානම් වන බවයි දැනගන්නට ලැබෙන්නේ.

මේ foldable phone එක මොන වගේ වේවිද කියන කුතුහලය තරමක් හෝ සංසිඳුවන්න පසුගියදා සැන්ෆ්‍රැන්සිස්කෝ  නුවර පැවති Samsung ආයතනයේ වාර්ෂික සමුළුවකදී ප්‍රසිද්ධියට පත් වූ වීඩියෝවට හැකියාව ලැබුණා. මෙහි දැක්වෙන ආකාරයට ‘GALAXY F’ නාමය යටතේ tablet එකක ප්‍රමාණයෙන් එන මේ device එක නැවීම මගින් smart phone එකක ප්‍රමාණය දක්වා කුඩා කර ගැනීමේ අවකාශය ලැබෙනවා. Samsung ආයතනය මේ device එක සඳහා වෙන වෙනම screens දෙකක් යොදා ගන්න සූදානම් බව තමයි දැනට ආරංචි වෙන්නේ. පහත වීඩියෝව නැරඹීමෙන් ඔබටත් ඒ බව පැහැදිලි වේවි.

Samsung ආයතනය ප්‍රකාශ කරන ආකාරයට මේ device එකේ internal screen එක, ඒ කියන්නේ වීඩියෝවේ පෙන්වන ආකාරයට device එක පොතක් වගේ නැමුවට පස්සේ ඇතුළු දෙසට පිහිටන screen එක, අඟල් 7.3 ප්‍රමාණයෙන් යුතු 1536 x 2152 resolution එකක් සහිත screen එකක්. Cover display එක, එහෙමත් නැත්නම් smart phone එකක් ආකාරයට පවතින විට අපිට දකින්නට ලැබෙන screen එක අඟල් 4.58 ප්‍රමාණයෙන් යුතු 840 x 1960 resolution එකක් සහිත screen එකක්.

Foldable phone එකක් කිව්වම අපිට මතුවෙන ගැටලු කීපයක් තියෙනවා. එකක් තමයි මේ phone එක සැලකිය යුතු මට්ටමේ ඝනකමක් තිබිය හැකි නිසා මෙය පරිහරණය කිරීමට අපහසු වේවීද කියන ගැටලුව. ඒ වගේම foldable device එකක glass එකක් screen විදියට භාවිතා කළ හැකිද යන්න ගැටලුව. Phones ගැන විශේෂ අවධානයකින් පසුවන බොහෝ දෙනෙකුට මේ device එක පිළිබඳව මේ ආකාරයේ ගැටලු පැවති බවට තොරතුරු සඳහන් වුණා. Samsung සමාගම මේ ප්‍රශ්න වලටත් පිළිතුරු ලබා දෙන්නත් අමතක කළේ නැහැ. ඔවුන් පවසන ආකාරයට නම් ඔවුන් භාවිතා කරන තාක්ෂණය අනුව පරිහරණය කිරීමට අපහසු වන තරමේ ඝනකමක් මේ device එකට ලැබෙන්නේ නැහැ. ඒ වගේම ‘GALAXY F’ device එකේ screen එක සඳහා ඔවුන් භාවිතා කිරීමට සූදානම් වන්නේ ශක්තිමත් බවින් වගේම නම්‍යශීලි බවින් යුත් polymer වර්ගයක්. අද භාවිතයේ තිබෙන screens වලට වඩා තරමක් වෙනස් වූවද මේ සුවිශේෂී device එක සඳහා එම polymer වර්ගය ඉතාමත් හොඳින් ගැළපෙන බව ඔවුන් මේ පිලිබඳ තවදුරටත් විස්තර කරමින් දක්වා තිබෙනවා. Samsung සමාගම මේ foldable screen එක හඳුන්වන්නේ infinity flex display කියන නමින්.

‘GALAXY F’ device එකේ software සඳහා අවශ්‍ය සහාය Google සමාගම වෙතින් ලැබෙන බව පැහැදිලියි. Foldable phone එකේ එකවර apps 3 ක් ක්‍රියා කළ හැකි ආකාරයට Multi Active Windows software එකක් Google සහ Samsung සමාගම් වල සහයෝගයෙන් නිර්මාණය වෙමින් පවතින බවටත් තොරතුරු පවතිනවා. කෙසේවෙතත් මේ වගේ foldable devices ගැන අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් Samsung සමාගමෙන් විතරක්ම නෙවෙයි. Foldable iPhone එකකුත් මීළඟ වසර දෙක ඇතුළත Apple සමාගමෙන් නිෂ්පාදනය වන බවට ඉඟි පල වී අවසන්.  Huawei සමාගම මීළඟ වසර වන විට foldable headset එකක් ලෝකයා හමුවේ තබන්නටත්, LG සමාගම foldable TV එකක් ලෝකයා හමුවේ තබන්නටත් සුදානමින් සිටින බවයි ආරංචිය.

මේ අනුව පැහැදිලි වන්නේ එළඹෙන 2019 න් ඇරඹෙන වසර කීපය foldable devices සඳහා වැඩි අවධානයක් යොමු වන කාල සීමාවක් වන බවයි. තාක්ෂණයේ දියුණුවත් එක්ක මේ devices අපි හිතනටවත් වඩා අරුම පුදුම නිරමාණයක් විදියට අපි අතට පත්වෙන්නත් බැරිකමක් නැහැ. Foldable devices කොයි තරම් දුරකට සාර්ථක වේවිද, කොයි තරම් පාරිභෝගිකයින් ආකර්ෂණය කරයිද කියලා බලාගන්න නම් තව ටික කාලයක් අපිට බලා ඉන්නට සිදු වේවි.

මෙවන් තොරතුරක් සමගින් නැවතත් හමුවෙමු…