ස්වයංක්‍රීය හා බලශක්ති නවෝත්පාදන සමාගමක් වන Tesla අද වන විට මුලු මහත් ලෝකයේම අවධානය දිනා  ගැනීමට සමත්ව ඇත.ඊට හේතුව වන්නේ ඔවුන් විසින් ක්‍රියාවට නංවන ලද අතිනවීන පරීක්ෂණ සමුදායක් නිසාවෙනි.එයින් ප්‍රධානතම තැනක් ගන්නා රියැදුරු නොමැති ස්වයංක්‍රීය ගමනාගමනය ක්‍රියාවට නංවමින් Tesla විසින් පළමුවරට 2014 ඔක්තෝම්බර් 9 වන දින Tesla S වර්ගයේ මෝටර් රථයකට රියැදුරු නොමැති ස්වයංක්‍රීය අංගය එක් කෙරිණි.නමුත් එකල එහි ඇතුළත්ව තිබෙනුයේ අර්ධ ස්වයංක්‍රීය ධාවනය හා ගාල් කිරිමේ හැකියාවන් පමණි. පුරා වසර ගණනාවක් කෙමෙන් කෙමෙන් වැඩි දියුණු වූ  මෙම රථවාහන අංගය අද වන විට එහි උච්චතම මට්ටමට පැමිණ ඇත.ඊට වටිනාම නිදසුන ලෙස ගත හැක්කේ  2019.04.22 වන දින Tesla  හි හිමිකරු සහ CEO  වන  Elon Musk ඔවුන්ගේ ප්‍රදර්ශන ඉදිරිපත් කිරිමකදී  කියා සිටියෙ ඔවුන් විසින් නිර්මාණය කරන ලද නවතම පුර්ණ-ස්වයංක්‍රීය ධාවනය සහිත පරිගණක පද්ධතිය April මස සිට Tesla හි තුලින් පිටවන සෑම වර්ගයේ මෝටර් රථයකටම සවි කරන බවත්ය. ඔහු තව දුරටත් කියා සිටියේ මින් පෙර එය නොවූ තරම් උපරිම හැකියාවන්ගෙන් පරිපුර්ණ බවයි.

ඔවුන්ගේ ප්‍රදර්ශන ඉදිරිපත් කිරිමේදී ප්‍රධානතම හා සිත්ගත් ප්‍රකාශය වනුයේ Tesla විසින් ඉදිරි වසරයන් තුලදි ක්‍රියාවට නැංවීමට යන නවතම “Robotaxi” සේවයයි. ඔබට එම නාමයෙන්ම එම සේවාව කුමක්ද යන්න පැහැදිළි වේ.එය අප එදිනෙදා භාවිතා කරන Uber, PickMe වැනිම  ride-hailing ගණයට අයත් වන සේවාවකි.නමුත් එහි විශේෂත්වය වන්නේ පුර්ණ-ස්වයංක්‍රීය ධාවනයක් සහිත වාහන එහි භාවිතයට ගැනිමයි.එනම් යම් ධාවනයකදී මගියා හැර රියැදුරෙකු එහි නොවේ.මෙහිදී සඳහන් කල ආකාරයට Tesla මෝටර් රථයක් හිමි, කැමති ඕනෑම අයෙකුට තම මෝටර් රථය මෙම සේවාව වෙනුවෙන් ලබා දී  ආදායම් ඉපෙයීමට හැකියාව ලැබෙනු ඇත.සේවාව සපයන ප්‍රදේශයන්හි පාරිභෝගික පිරිසෙහි ප්‍රමාණයට සරිලන මෝටර් රථ එහි නැතිනම් සමාගම විසින් එයට අවශ්‍ය  ප්‍රමාණය යොදවන බවට ප්‍රකාශ විය.එක් පැදවීමකින් 25% ත් 30%ත්  අතර අදායමක් සමාගමට ලබා ගැනීමට ඔවුන්ගේ අපේක්ෂාවයි.

මෙම සේවාවෙහි අනුයුක්ත වන්නේ පෙරකී පුර්ණ-ස්වයංක්‍රීය ධාවනය සහිත පරිගණක වලින් යුක්ත මෝටර් රථ පමණි. එනම් දැනට පවතින Tesla හි නිර්මාණයන් වන Model S, Model X සහ Model 3 යන මෝටර් රථ මෙම සේවාව සඳහා යොදා ගැනීමට ඔවුන් බලාපොරොත්තු වේ. නමුත් එහි දැනට එක් සංරචකයක් අඩංගු නොවන බවත් එනම් එය සියලුම දේ පාලනය කල හැකි මෘදුකාංගයක්  බවත් එය කෙසේ වෙතත් ඉදිරි වසර තුලදි සම්පුර්ණ කොට මෝටර් රථ තුළට ඇතුළත් කිරීමට සලස් වන බවට සඳහන් විය.

තව දුරටත් ඔහු විසින් කියා සිටියේ ලබන වසර එකහ මාර තුල Robotaxi මිලියනයකට අධික සංඛ්‍යාවක් ඔවුන් විසින් නිපදවන බවයි. ඒවාහි සුක්කානමක් හා පැඩලයන් නොමැතිව නිර්මාණය වේ. Tesla හි මෙම මෝටර් රථ මත ඇති කැමරා අටකින් අංශක 360 ක දෘෂ්ටි කෝණයක් සහ අතිධ්වනි සංවේදක දොළොසක් හා ඉදිරිපස මුහුණත රේඩාර් මගින් බාදක හා වස්තූන් හදුනා ගැනිමත් සිදු වේ.අනෙකුත් පර්යේෂණ කණ්ඩායම් විසින් යොදා ගනු ලබන ලයිඩර් තාක්ෂණය Tesla හි මෝටර් රථ සඳහා යොදා නොගැනීම විශේෂත්වයකි.ලයිඩර් තාක්ෂණය යනු රේඩියෝ තරංග වෙනුවට ආලෝක තරංග භාවිතා කරන තාක්ෂණය වේ.ඔවුන් පවසන ආකාරයට කැමරා තුළින් වස්තූන් හඳුනා ගැනීම සිදු කරන නිසා ලයිඩර්ට සමාන ප්‍රතිඵලයක් රේඩාර් හා කැමරා තුලින් ලබා ගත හැක. මෙමගින් Tesla සමාගම සතු වන සැබෑ ලෝකයේ දත්ත තුලින් computer neural networks යාවත්කාලීන කිරීමෙන් මෝටර් රථවල සන්නිවේදනය හා අන්තර් ක්‍රියාකාරිත්වය කාර්යක්ෂම වේ. සේවාවෙහි ව්‍යාප්තිය ඒ ඒ ප්‍රදේශයන්හි නීති රීති රෙගුලාසි අනුව වෙනස් වන බවත් එම නිසා යම් විශේෂිත ප්‍රදේශයන් සලකා යෙදීම ඔවුන්ගේ පළමු පියවරයි. Muskගේ දැඩි විශ්වාසය සහිත ප්‍රකාශයන් මගින් මෙම සේවාව නුදුරෙහිදිම අපහට බලා ගැනීමට හැකි වනු ඇති බව බොහෝ දෙනාගේ මතය වේ. කෙසේ නමුදු දැනටමත් Alphabet සමාගමට අයත් Waymo සමාගම විසින් මීට සමාන ව්‍යාපෘතියක් දියත් කොට අත්හදා බලමින් සිටී.එයද ඇමෙරිකා එක්සත් ජනපදය තුල ප්‍රදේශයන් මුල් කර ගෙන සිදු කරයි. කෙසේ වෙතත් විසි එක් වන සියවසේ නව්‍යම හා සුවිශේෂි අත්දැකීමක් නොබෝ කලකින් අප හට  ලැබෙන බව නොඅනුමානයි.