Elon Musk කියන්නේ ලෝකය වෙනස් කරන්න උපරිම වෙහෙසක් ගන්න සුපිරි චරිතයක් කියලා ඔයාලා දැනටමත් දන්නවා. ඔහු විසින් මුලිකත්වය ගෙන ආරම්භ කරපු SpaceX හා Tesla කියන සමාගම් දෙක අද වනවිට ලෝකයේ මොනවගේ තැනකද තියෙන්නේ කියලාත් ඔයාලා හැමෝම දන්නවා. SpaceX සමාගම අභ්‍යාවකාශ තාක්ෂණයේ තිබුණු විශාල ගැටලු රාශියකට සාර්ථක හා ප්‍රායෝගික විසදුම් සපයද්දී Tesla සමාගම විදුලි බලශක්තිය හා සූර්ය බලශක්තිය මගින් නව තාක්ෂණික නිෂ්පාදන ඔස්සේ මානව ජීවන රටාව වෙනස්ම මානයකට රැගෙන යන්නේ Elon Musk ගේ නායකත්වය හා මගපෙන්වීම ඔස්සේ.

ඉතින් අද මේ ලිපියෙන් ඔයාලට කියන්න යන්නේ Tesla සමාගමේ තවත් අලුත් ලෝකයේම අවධානය ගත්තු පෙරළිකාර නිෂ්පාදනයක් ගැන. ඒ තමයි Tesla Cybertruck කියන fully electric truck රථය.

මේකේ නම දැක්කගමන් තාක්ෂණය ගැන උනන්දුවක් තියෙන කෙනෙක්ට තේරෙනවා මේ truck රථය සඳහා තාක්ෂණය උපරිම විදියට භාවිතා කරලා තියෙනවා කියලා. ඉතින් අපි බලමු මේ truck එකට එකතු කරලා තියෙන අලුත් දේවල් මොනවද කියලා.

Exterior, Interior & Body Structure

මිනිසුන් හය දෙනෙකුට ගමන් කිරීමට ඉඩකඩ සපුරා තිබෙන මෙම රථයේ බඳ සකස්කොට තිබෙන්නේ ඉතාමත් ශක්තිමත් අපාරගම්‍ය ලෝහයකින් (Ultra-hard 30x cold-rolled stainless steel). ඉතිං මේ ලෝහය නිසාම රථයේ බඳ කඩතොළු වීම, ගෙවී යෑම, මළකඩකෑම හා හදිසි අනතුරකදී රථයේ ඇතුලත සිටින මගීන්ට වන හානිය වැනි හානි අවම කරනු ලබනවා. ඒ විතරක් නෙවෙයි මේ රථයේ තියෙන windscreen, door shutters හදලා තියෙන්නේ Tesla armor glass කියන Tesla සමාගමට ආවේණික bulletproof glasses වර්ගයක් යොදාගෙන. මේ රථයේ exterior body shape එක විශේෂ හැඩයකට නිර්මාණය කරලා තියෙන්නේ වැඩි බරක් උපරිම වේගයකින් ඉතාමත් අඩු වායු ප්‍රතිරෝධයක් ඇතිව ධාවනය කිරීමට හැකි වන ලෙසය. ඒ වගේම මේ රථය ඇතුලේ ගමන් කරන මගීන්ට උපරිම සැප පහසුවක් ලබාදෙන්නත් Tesla සමාගම අමතක කරලා නැ.

Performance, Range, Towing & Payload Capacity

Cybertruck එක වෙළඳපොළට එන්නේ වර්ග තුනක් යටතේ. ඒ, තනි මෝටරයක් සහිත RWD වර්ගය (Single-motor – Rear Wheel Drive), මෝටර් දෙකකින් සමන්විත AWD වර්ගය (Dual-motors – All Wheel Drive) සහ මෝටර් තුනකින් සමන්විත AWD වර්ගය (Tri-motors – All Wheel Drive) ලෙසින්. ඒවගේම එක්වරක් ආරෝපණය කල පසු single-motor රථය සැතපුම් 250කුත්, Dual-motors රථය සැතපුම් 300කුත්, Tri-motors රථය සැතපුම් 500කුත් ගමන් කිරීමේ හැකියාව තිබෙනවා. මේ කියන මෝටර් තුනකින් සමන්විත වර්ගයේ Cybertruck එකකට තත්පර 2.9ක් ඇතුලත 97km/h වේගයකට ළඟා වීමේ හැකියාවක් තියෙනවා වගේම රාත්තල් 14,000ක බරක් වුවත් මෙම රථයට ඇදගෙන යාමේ හැකියාව තියෙනවා. මේ වර්ග තුනේම රථ වලට රාත්තල් 3,500 ක payload capacity එකක් තියෙනවා.

ඉතින් විචාරකයන් කියන විදියට Cybertruck එක Ford F-150 රථයට වඩා ගුණාත්මක බවින් ඉහළ අතර Porsche 911 රථයට වඩා වේගයෙන් ගමන් කළ හැකියි. ඒ වගේම ඒ රථ වර්ග දෙකටම වඩා මෙහි මිල අඩුවීමත් සුවිශේෂි කාරණාවක්. මෙහි ඇති තවත් විශේෂ කරුණක් නම් Cybertruck එකක් ඇණවුම් කිරීමේදී optional feature එකක් විදියට self-driving option එක පාරිභෝගිකයාට තම කැමැත්ත අනුව රථයට එකතු කිරීම හෝ නොකිරීම Tesla සමාගම විසින් ලබාදී තිබෙනවා.

Cybertruck රථ මිලගණන් ($1 = Rs.180.10 සඳහා)

  • Single-motor RWD – $39,900 (~ Rs.7,186,142)
  • Dual-motor AWD – $49,900 (~ Rs.8,987,180)
  • Tri-motor AWD – $69,900 (~ Rs.12,589,256)
  • Self-driving(optional feature) – $7,000 (~ Rs.1,260,727)

ඉතින් මේ වගේ වාසි ගොඩක් තියෙන Cybertruck එක සඳහා මේ වනවිට Tesla සමාගම වෙත Cybertruck ඇනවුම් 146,000ක් ලැබී ඇති අතර එහි මුළු වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 8ක් පමණ වනවා.

මේ වගේ අලුත් තොරතුරක් සමගින් තවත් ලිපියකින් නැවත හමුවෙමු.