සංජිව වීරවරණ ! අද වෙනකොට ලංකාවේ ඔහු ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. ඔහු වඩාත්ම ජනප්‍රියත්වයට පත් වුණේ වර්තමානය වෙද්දී ලංකාවේ පවතින ප්‍රමුඛ පෙළේ IT company එකක් වන WSO2 ආයතනයේ නිර්මාතෘ වරයා විදියටයි. මෑතක් වෙනකන්ම ඔහු WSO2 සමාගමේ CEO, Chairman, සහ Chief Architect තනතුරු දරමින් සමාගම ඉදිරියටම ගෙනියන්න කටයුතු කළා. 2017 වසරේදී WSO2 පවුලේ CEO තනතුර Tyler Jewellට භාර දුන්න ඔහු පසුගිය දිනක එහි Chief Architect තනතුරෙනුත් සමුගන්න තීරණය කරලා. මේ පිළිබඳව ඔහු Medium හරහා සටහනක් තබන්නත් අමතක කරලා තිබුනේ නෑ.

සංජිව වීරවරණ මහතාගේ මේ සටහන ගැන බොහෝ දෙනාගේ සුවිශේෂී අවධානය යොමු වෙලා තිබුණා. සටහන කියවන සියලු දෙනාවම පුදුමයට පත් කරමින් ඔහු එහි ආරම්භයටම එකතු කර තිබුණේ ඔහු තමන්ගේ WSO2 පවුලේ සාමාජිකයින් වෙත යැවූ e mail ලිපියක්. Chief Architect තනතුරෙන් සමුගන්න ඔහු තවදුරටත් WSO2 සමාගමේ සභාපති ධුරය පමණක් දරමින් Ballerina ව්‍යාපෘතියට අවශ්‍ය නායකත්වය ලබා දෙන බව එමගින් ඔහු දන්වලා තිබුණා. එත් එක්කම වසර 13ක් පුරා  WSO2 සමාගම ආපු ගමන ගැන, Tyler Jewellගේ නායකත්වය ගැන වගේම  ඔහුගේ බලාපොරොත්තු ගැනත් හරි අපූරුවට ඔහු එහි සඳහන් කරලා තිබුණා.

Tyler Jewell  නව මුහුණුවරකින් සමගම වෙත ලබා දෙන නායකත්වය ගැන සංජිව වීරවරණ මහතා සතුටට පත් වන බවයි ඔහුගේ අදහස් වලින් පැහැදිලි වෙන්නේ. වසර 3 ක් සඳහා 50% ක ARR වර්ධන අනුපාතයක් පවත්වා ගතහොත් සමාගමට පහසුවෙන්ම ඩොලර් බිලියන 1කටත් වඩා වටිනාකමක් ළඟා කරගත හැකි බව ඔහු විශ්වාස කරන බවද ඔහු සඳහන් කරලා තිබුණා.  ඉතාමත් ඉහළ වටිනාකමක් සහිත සමාගමක් ලෙස WSO2 සමාගම වෙනත් කෙනෙකුගේ නායකත්වය යටතට පත් කිරීමට හැකියාව ලැබීම පිලිබඳව ඔහු සතුටින් පසු වන බවත් පැහැදිලියි.

සංජිව වීරවරණ මහතා පවසන්නේ ජීවිතය යනු තනතුරු සහ වැටුප් මත පමණක් රඳා නොපවතින්නක් බවයි. වඩා වැදගත් වනුයේ තමන් ලෝකය වෙත සිදු කරන ධනාත්මක බලපෑම බව ඔහුගේ මතයයි. නිවැරදි දේ සුදුසු අවසථාවේදී කිරීම තුලින් WSO2 සමාගම හරහා ලොවට යහපතක් සැලසීමට ඔහුට අවස්ථාව ලැබුනු බව ඔහු විශ්වාස කරනවා. ඒ විතරක් නෙවෙයි, බොහෝ ආයතන ප්‍රධානින් වැඩි විශ්වාසයක් නොදැක්වුවද, ඔහු දැඩි ලෙස විශ්වාස කරන යමක් ගැනත් ඔහු සඳහන් කරන්න අමතක කරලා තිබුණේ නෑ. ඒ තමයි, ‘ඕනෑම කෙනෙකුට සුදුසු අවස්ථාවක්, නිවැරදි පරිසරයක්, සහ නිවැරදි සහායක් ලැබුණොත් ඕනෑම දෙයක් කළ හැකිය’ යන විශ්වාසය. මෙයට සමගාමිව ඔහු ලිපියේ දක්වලා තිබුන එක්තරා කොටසක් එය කියවූ සෑම සියලු දෙනාගේම හිතේ තදින්ම සටහන් වෙන්න ඇති කියල මම විශ්වාස කරනවා. එහි කියවුනේ මෙහෙම අදහසක්.

‘අපි හැම දෙනාම අපේ ඉලක්ක වෙත ළඟා වෙන්න තරම් වාසනාවන්ත නොවෙන්න පුලුවන්. ඒ නිසාවෙන්ම ඔබට පුළුවන් බොහෝ දෙනා නුසුදුසුයි කියල හිතන කෙනෙක්ට  අවස්ථාවක් ලබා දෙන්න. ඒ පුද්ගලයාට තමන් ගැනවත් විශ්වාසයක් නැති වෙන්න පුලුවන්.  ඔහුගේ English දැනුම හොඳ මට්ටමක නැති වෙන්න පුලුවන්. ඒ පුද්ගලයාට අත්දැකීම් නොමැති වෙන්න පුළුවන්. නමුත් ඔහු හොඳ හදවතක් තියන කෙනෙක් වෙන්න පුලුවුන්. ඒ නිසා එහෙම කෙනෙක්ට අවස්ථාවක් ලබා දෙන්න තරම් කාරුණික වෙන්න. දවසක ඒ පුද්ගලයාම ඔබට ඩොලර් බිලියන ගණනක් උපයා ගන්න උපකාර කරන්න තරම් දියුණු වෙන්න පුළුවන්.’

WS02 සමාගමේ අරම්භයේ පටන් ලොවම පිළිගත්ත ඉහළ පෙළේ සමාගමක් දක්වා දියණු කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි. නමුත් මේ සියලු සාර්ථකත්වය පිටුපස සිටි නියමුවා ඔහුයි. ඉතින් entrepreneur කෙනෙක් විදියට, නැත්නම්  IT field එකේ ඉස්සරහට යන්න ඉන්න කෙනෙක්ට වගේම, ජිවිතයේ සාර්ථකත්වය ළඟා කරගන්න කැමති ඔනෑම කෙනෙක්ට ඔහුගෙන් ඉගෙනගන්න තියන දේවල් බොහොමයි. පහත link එකෙන් ඔහුගේ සටහන කියෙව්වොත් ඔබටත්  ඒ බව හොඳින්ම පැහැදිලි වෙයි.

https://medium.com/@sanjiva.weerawarana/time-for-me-to-move-on-from-wso2-7d626afca87c

ඉතින් මෙතැන් පටන් සංජිව වීරවරණ මහතා  WSO2 සමාගමට පුර්ණ කාලීන සේවාව ලබා නොදුන්නත් එහි සභාපතිවරයා ලෙස සහ Ballerina ව්‍යාපෘතියේ නියමුවා ලෙස WSO2 සමාගමට ඔහුගේ මග පෙන්වීම ලැබෙන බව නිසැකයි. ඊට අමතරව ඔහු සම්බන්ධ වන්නට සුදානම් වන සියලු ව්‍යාපෘතිද සාර්ථකත්වය කරා යොමු කරමින් රටට තවදුරටත් සේවය කරන්නට ඔහුට අවශ්‍ය සියලු ශක්තිය ධෛර්යය ලැබේවායි අපි ප්‍රර්ථනා කරමු !