Youtube අපේ ජීවිතේට නැතිවම බැරි කෙනෙක්. Google සමාගම සතු සුවිශේෂිම සේවාවක්. නමුත් පසුගියදා Youtube සමාගමට මුහුණ දීමට සිදු වුණේ කවුරුත් නොසිතූ නොපැතු සිදුවීමකට. මොකද ඇත්තටම වුණේ? Youtube වගේම Youtube හා සමගාමිව ක්‍රියාකරන Youtube TV සහ Youtube Music, මේ සියල්ල සැලකිය යුතු කාලයක් ක්‍රියා විරහිත වෙලා.

හරියටම කියනවනම් 2018 ඔක්තෝබර් 16 වෙනිදා පාන්දර 1. 30 ට පමණ මේ සිදුවීම වුණා කියලා තමයි වාර්තා වල සඳහන් වෙන්නේ. ඔබත් මේ ආසන්න වෙලාවක Youtube access කරන්න උත්සාහ කළානම් ඔබත් නිසැකවම මේ අපහසුතාවයට පත් වෙන්නට ඇති. අන්තර්ජාලයේ සඳහන් ආකාරයට මේ අඩාල වීමට අදාළව සමහර usersලාට සමහර අවස්ථාවලදී Error 503 කියන error message එක display වෙලා තියෙනවා. බොහෝ දෙනා Youtube හි මෙම සේවා අඩාල වීම ගැන එසැනින් අන්තර්ජාලයේ අදහස් දක්වා තිබුණා. සිදු වි තිබෙන අපහසුතාවය පිළිබඳව කණගාටුවට පත් වන බවත් හැකි ඉක්මනින් මෙම අඩාල වීම යථා තත්වයට පත් කිරීමට ඔවුන් කටයුතු කරන බවත් ඉන් පැයකට පමණ පසුව Youtube සමාගම twitter නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබුණා. කෙසේ වෙතත් අලුයම 3 පමණ වන විට සියලු සේවාවන් නැවතත් යථා තත්වයට පත් කර තිබීම කාගේත් සතුටට හේතු වු බව පැහැදිලියි.

විශේෂයෙන්ම Google සමාගම සතු සේවාවක් වීම නිසාත් ලෝකවාසී බිලියන ගණනකගේ ජීවිතවලට නැතිවම බැරි සමිපතයෙක් නිසාත් Youtube සේවාවේ සුළු හෝ අඩාල වීමක් මුළු මහත් ලෝකයාගේම අවධානයට ලක් වීම පුදුමයට කාරණාවක් නෙවෙයි. Youtube TV සම්බන්ධයෙන් සේවා අඩාල වීමක් පසුගිය අප්‍රේල් මාසයේත් වාර්තා වුනත් Youtube සම්බන්ධයෙන් මෑත ඉතිහාසයේ කිසිම සේවා අඩාල වීමක් වාර්තා වී තිබුණේ නැහැ.

මේ සේවා අඩාල වීමත් සමගින් Youtube වෙත මුදා හැර තිබූ videos වලට කිසියම් හානියක් වේදැයි සමහර දෙනා, විශේෂයෙන්ම Youtubersලා කීපදෙනෙක් මත පල කර තිබුණද ඒ අකාරයේ කිසිදු ගැටලුවක් මතු වී නැති බව පැහැදිලියි. මතුව තිබුණ එකම ගැටලුව නම් පැය එකහමාරක පමණ කාලයක් Youtube සහ Youtube සම්බන්ධ අනෙකුත් සේවාවන් සඳහා access නොමැති වීම පමණයි. කෙසේ වෙතත් තවමත් Youtube සමාගම විසින් මේ සේවා අඩාල වීමට හේතු දක්වා නැහැ. මේ පිළිබඳව නොයෙකුත් දෙනා නොයෙකුත් මත ඉදිරිපත් කලද Youtube ගැන සුවිශේෂි අවධානයක් යොමු කරන සියලු දෙනා තවමත් බලා සිටින්නේ Google සමාගම හෝ Youtube සමාගම මේ පිළිබඳව කුමනාකාරයේ හේතුවක්, නැතිනම් ප්‍රතිචාරයක් දක්වයිද කියලයි.

මෙවන් තොරතුරක් සමගින් නැවතත් හමුවෙමු…